Sunday, February 01, 2026
Follow Us
පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම් අතර නව සන්ධානයකට සාකච්ඡා - දූෂිත මන්ත්‍රීවරුන් 12 දෙනෙකු එක් කර නොගැනීමේ පොදු එකගතාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අතර පොදු සන්ධානයක් ඇති කර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු ස්වාධීන පක්‍ෂ එකමුතුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම අතර නිල නොවන මට්ටමින් එම සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගද එම පාර්ශව නිල නොවන මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

මේ අතර එම කණ්ඩායම් අතර ගොඩනැගීමට යෝජිත නව සන්ධානය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු කිසිදු හේතුවක් මත එක්කර නොගැනීමටද පොදු එකගතාවක් ඇතිව තිබෙනවා. විවිධ චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු එලෙස නව සන්ධානයක් සදහා එක් කර නොගැනීමට එම එකගතාව ඇති කර ගෙන තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සභාපතිත්වය දරණ නව ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඉකුත්දා එක්වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ප්‍රකාශ කළේ ඉදිරියේදී බිහි වන නව පොදු සන්ධානයකට කිසිදු දූෂිතයෙකු එක්කර නොගත යුතු බවයි.
මේ අතර අද රාත්‍රී 7.30 ට ප්‍රචාරය වන නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වන්නේ නව ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමයි.

Neth