Sunday, February 01, 2026
Follow Us
සංශෝධිත අයවැය දෙවන වර කියවීම අද

2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු වනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ සමාරම්භක කතාව අද පස්වරු 01 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත හෙට සහ ලබන මස 01, 02 යන දිනවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සභානායක සුසිල් ප්‍රේමජයන්ත.

අද ඉදිරිපත් කෙරෙන සංශෝධිත අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනද අදහස් පල කළා.

මෙම සංශෝධිත අයවැය මාස 04ක් සඳහා ඉදිරිපත් කෙරුණද එය දිගු කාලීන වැඩ පිළිවෙලක ආරම්භයක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙහිදී කියා සිටියා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම වසර සඳහා ඉදිරිපත් කළ අයවැයට අනුව ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට රුපියල් බිලියන 2,796යි දශම 4ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණා.

නව සංශෝධනයට අනුව මෙම වසරේ ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට වෙන් කළ මුදල රුපියල් බිලියන 3,275 යි දශම 8ක් දක්වා වැඩි කෙරෙනවා. ඒ අනුව, අමාත්‍යාංශ සේවා කාල සඳහා වන වියදම් රුපියල් බිලියන 929යි දශම 4කින් වැඩි වී තිබෙනවා.

රජයේ ණය සේවා කරන වියදම රුපියල් බිලියන 2,623 සිට රුපියල් බිලියන 2, 901 ක් දක්වා වැඩි කිරීමට ද සංශෝධිත විසර්ජන පනත මගින් යෝජනා කර තිබෙනවා.

Neth