Sunday, February 01, 2026
Follow Us
සජිත් රන්ජාට නින්ජා ගේමක් දෙයි

සජිත් රනිල්ට බෑ කියයි
රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත්වීමෙන් පසු නිතර කතාබහට ලක් වූ සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේ කතාබහ දැන් යටට ගොස් තිබේ. ඊට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ බලපෑම්ය. තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දහසයකට කැබිනට් ඇමැති ධුර දිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවට බාල ගිරි දෝෂය

එනමුත් විපක්ෂයෙන් එක් වීමට බලාපොරොත්තු වන මන්ත්‍රිවරු ප්‍රකාශ කර ඇත්තේ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර නොදිය යුතු බවයි. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මේ වන විට ප්‍රතිචාර දක්වා තිබේ. චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි මන්ත්‍රිවරු සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

රාජිත-රනිල් හමුවක්

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අතර හමුවක් කොළඹ තරුපහේ හෝටලයකදී මෙම සතියේදී සිදු විය. ඒ වෛද්‍ය අරුණ මුණසිංහගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේදීය. එහි දී ජනාධිපතිවරයාට වෙනම මේසයක්ද වෙන් කර තිබිණි. මන්ත්‍රිවරයා අසුන් ගෙන සිටියේ වෙනත් මේසයක වෛද්‍යවරු සමගය. විවාහ මංගලෝත්සවයට පැමිණි ජනාධිපතිවරයාට වෛද්‍ය අරුණ මුණසිංහ කීවේ ‘‘රාජිත ඇමැතිතුමාත් ඉන්නවා.’‘ යනුවෙනි. ‘‘මමත් රාජිත ඉන්න තැනට යනවා.’’ කියමින් තමන්ට වෙන් කළ මේසය අත්හල ජනාධිපතිවරයා මන්ත්‍රිවරයා සිටි මේසයට පැමිණියේය. එහිදී ද ප්‍රධාන මාතෘකාව වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම ගැනය.

රාජ්‍ය ඇමැති ධුර ඉල්ලන මන්ත්‍රිලා

මේ අතර ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ජනාධිපති කාර්යාලයට කැඳවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට අනුවය. හිටපු රාජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව තිස් හතරකි. නමුත් පැමිණ සිටියේ විසි හය දෙනකු පමණි. මාතෘකාව වූයේ කඩිනමින් රාජ්‍ය ඇමැති ධුර ගැනීම පිළිබඳවය. ‘‘අයි.එම්.එෆ් එකත් එක්ක කළමනාකරණය කරන්න ඕනි. ඇමැතිධුර වැඩි කරනවාට අරමුදල කැමැති නැහැ. ඒ ගැන සලකා බලන්න ඕනි. මම නම් කල්පනා කරන්නේ නියෝජ්‍ය ඇමැති ධුර දීමටයි.’’ ජනාධිපතිවරයා සිය ස්ථාවරය කීවේය. ඊට අප්‍රසාදය පළ කළේ සනත් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ යන හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ය.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ ගෝඨාභය ජනාධිපතිවරයා මෙන් රාජ්‍ය ඇමැති ධුර විෂය පථයන් ගැසට් කර වෙනම වැය ශීර්ෂයක්ද ලබා දිය යුතු බවයි. ඊට ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඔහුගේ අදහස වූයේ ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමටය. කැබිනට් ඇමැතිවරුන්ට බලතල දී ඇමැතිවරුන්ගේ අභිමතය පරිදි රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරුන්ට බලතල දීම ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.

දොඩම්ගොඩ බදාගත් ජනපති

මෙම රැස්වීමේදී අදහස් පලකළ සනත් නිශාන්ත මන්ත්‍රිවරයා මෙසේ පැවසුවේය. ‘‘ගෝඨාභය ජනාධිපතිතුමාට වුණේ දොඩම්ගොඩ බදා ගන්න ගිය යකාට වුණා වගේ වැඩක්. හැමදේම බදාගන්න ගිහින් එකක්වත් නැති වුණා. ඔබ තුමා නම් එහෙම කරන එකක් නැහැ.’’ මන්ත්‍රිවරයා කියා සිටියේය. ‘‘අපිට 2024 ඡන්දයක් තියෙනවා. ඡන්දයට යනවා නම් එහා පැත්තේ ඉන්න අයත් මෙහාට ගන්න ඕනි.’’ ජනාධිපතිවරයා කීවේය. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට බලතල දීමට කැබිනට් ඇමැතිවරුන් වන විජයදාස රාජපක්ෂ හා සුසිල් ප්‍රේමජයන්ත විරුද්ධ වී ඇති බව හිටපු රාජ්‍ය ඇමැතිවරු අතර කසුකුසුවක් ද පැවැතිනි. රැස්වීම අවසන් කර එළියට පැමිණි රාජ්‍ය ඇමැතිවරු ප්‍රකාශ කළේ ‘‘ඉන්න මන්ත්‍රිවරු ටික රැකගන්න ජනපතිට සිද්ධ වෙනවනේ.’’ යනුවෙනි.

ජනපති ගෝඨාට කතා කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් සිටින්නේ තායිලන්තයේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සතියේදී හිටපු ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දුන්නේය. පූර්ණ ආරක්ෂිත ස්ථානයක් හා ආරක්ෂාවක් සලසන තුරු මාසයක පමණ කාලයක් තායිලන්තයේ සිටින ලෙස ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියහොත් රැඳී සිටීමට සිදු වන්නේ මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේය. එය අනාරක්ෂිත බව ආරක්ෂක අංශ තහවුරු කිරීම නිසා කොළඹ නගර ආසන්නයේ රජයේ නිල නිවසක් දීම ආණ්ඩුවේ අදහස වී තිබේ.

මහින්දට ජනක බණ්ඩාරගේ ගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මේ වන විට සිටින්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා අවසන් වරට සිටි නිල නිවසේය. ඊට හේතුව හිටපු ජනපති ලෙස ඔහුට කොළඹ 07 විජේරාම මාවතේ දී තිබූ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමය.

මහින්ද රාජපක්ෂට එම නිල නිවසේ යළි පදිංචි කර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මහින්ද දැනට සිටින නිවස දීමට සැලසුම් කර ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කළේය.

රනිල් වෙනුවෙන් චන්ද්‍රසේනගෙන් කටවුට්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සති අන්තයේ අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට හා මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ගත්තේය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට උඩමලුවට යද්දී තමන් පසුපසින් විශාල පිරිසක් පැමිණෙනු දුටු ජනාධිපතිවරයා උඩමළුවට යාම ප්‍රතික්ෂේප කළේය. පහළ මළුවේ සිට ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගත් ජනාධිපතිවරයා අටමස්ථානයට අයත් වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීමෙන් පසු වන්දනා මාන කිරීම සඳහා පැමිණ සිටි සැදැහැවතුන් සමගද කතා බහ කිරීමට අමතක කළේ නැත. අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මෙවර පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමට සහභාගි වූ බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් වීමද විශේෂත්වයකි. මොවුන් සියලු දෙනාම දිවා ආහාරයේදී ජනාධිපතිවරයා සමග ‘සෙල්ෆි’ ඡායාරූපවලට පෙනී සිටියේ දැඩි උනන්දුවකිනි. දැඩි රාජපක්ෂවාදියකු ලෙස ප්‍රකට එස්.එම්. චන්ද්‍රසේන රනිල් පිළිගැනීමට අනුරාධපුර නගරයේ සිය මල්ලී සමග කටවුට් ගසා තිබුණේය. රනිල් සමග රැස්වීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ ආදී මැති ඇමැතිවරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමග කතාවට වැටුණි.

පොහොට්ටුවට රනිල් හොඳයිලු

‘‘රනිල් කියන්නේ කවුද කියන එක අපිට මේ දවස් ටිකට තේරුණා. මොකද එතුමව අපි මීට පෙර ළඟින් ආශ්‍රය කරලා නැහැනේ. දැන් තමයි තේරුණේ එතුමගේ දැනුම හා බුද්ධිය ගැන’’ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා වර්ණනා කළේය. ‘‘ඒක ඇත්ත ජනාධිපතිතුමා එක්ක කතා කරන්න යනවා නම් හොඳට පොත් පත් කියවලා යන්න ඕනි නැතිනම් එතුමා අහන දේවල්වලට උත්තර දෙන්න බැරිව අපිට ඇඹරෙන්න වෙනවා.’’ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා කීවේය.

මන්ත්‍රින්ට ආර්ථික පන්තියක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන විදේශගතව සිටි බැවින් මෙවර පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම පැවැතුවුණේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු කතා බහ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව හා ආර්ථිකය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා විසින් මන්ත්‍රිවරු දැනුවත් කිරීමට සූදානම් බවද එම රැස්වීමේ දී නිවේදනය කෙරුණි. ඒ සඳහා සියලුම මන්ත්‍රිවරු සහභාගි කරවීමටද පක්ෂ නායකයෝ එකඟත්වය පල කළහ.

දෙපැත්තට නැති මන්ත්‍රිලා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කාලය වෙන් කිරීමේ දී තමන් මුහුණ දී සිටින උභතෝකෝටික ප්‍රශ්නයක් ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග කීවේය.

‘‘අපේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් විපක්ෂයේ වාඩි වෙලා තමන් ස්වාධීන මන්ත්‍රිවරු ලෙස හඳුන්වා ගන්නවා. මේ අය විපක්ෂයේද ආණ්ඩුවේද කියා සොයා ගන්න බැහැ.’’ ඇමැතිවරයා සිය ප්‍රශ්නය කියා සිටියේය.

‘‘අපොයි ඇමැතිතුමා අපි නම් ඔරිජිනල් විපක්ෂයේ.’’ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා කියා සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසිනි. ‘‘මෙතන ඔර්ජිනල් විපක්ෂයක් කියලා එකක් නැහැ. අපි ආණ්ඩුවේ හොඳ දේවල්වලට හොඳයි කියනවා. නරක දේ නරකයි කියනවා.’’ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කතාවට දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පිළිතුරු දුන්නේ තරමක කේන්තියෙනි.

‘‘ඇත්තටම මන්ත්‍රිතුමා මන්ත්‍රිවරුන්ට විවාදවලදී කාලය වෙන් කරන්න ගියාම මගේ ඔළුව කකියනවා. ඔබතුමන්ලා දෙපැත්ත කන කකුල තියාගෙන ඉන්නේ නැතිව එක්කො ආණ්ඩුවේ ඉන්න, නැති නම් විපක්ෂයේ ඉන්න.’’ ඇමැති ප්‍රසන්න රණතුංග දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට කීවේය. කථානායකවරයා දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මෙහි දී කතිකා කර ගත්හ.

විමල්ලා මහරගමදී එළියට

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් පිහිටුවනු ලබන නව සන්ධානය ලබන මස හතර වැනිදා මහරගමදී එළි දැක්වීමට නියමිතය. මේ පිළිබඳ කතා කිරීමට පක්ෂ නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී රැස් වූහ. නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. එහි අවසන් කෙටුම්පත ලබන අඟහරුවාදා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කිරීමට තීරණය විය. නව සන්ධානය එළි දැක්වීමේ උත්සවයට චීන, රුසියා, වියට්නාම, කියුබා, මාලදිවයින, ඉරානය, පාකිස්ථානය, ඉන්දුනීසියාව හා බංග්ලාදේශය යන රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ද සහභාගි වීමට නියමිතය. ඔවුන් සියලු දෙනාට ආරාධනා කළේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්ය.

ප්‍රසන්නගේ මහජන හමුවට ගිය හිටපු ඇමැති

ස්වාධීන පක්ෂ එකමුතුවේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට පැමිණියේ ජනතාවගේ ගැටලුවක් සම්බන්ධයෙන් කතා කිරීමටය. එම ගැටලුව නුගේ​ගොඩ ප්‍රදේශයේ පවතින ගැටලුවකි. මන්ත්‍රිවරයා ඇමැති ප්‍රසන්න රණතුංගට ප්‍රශ්නය ඉදිරිපත් කළේය. නිලධාරින්ට යොමු කර ප්‍රශ්නය විසඳීමට පියවර ගත්තේය. තමන්ගේ පැමිණීමෙන් ජනතාව අපහසුතාවට පත්වේ යැයි සිතූ මන්ත්‍රිවරයා සිය අසුනින් නැගිට ‘‘ඇමැතිතුමා මම මෙතැන හිටියට කමක් නැද්ද යනුවෙන් විමසීය.

‘‘ඔබතුමා අයින් කරන්න අයිතියක් තියෙන්නේ කාටද. අද මගේ මහජන දිනය.’’ ඇමැතිවරයා කියා සිටියත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ‘‘මහජනතාව අපහසුතාවට පත් කරන එක නරකයි.’’ යනුවෙනි.

සජිත් රනිල්ට බෑ කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඇත්තේ අර්බුදයකි. ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර ජනාධිපතිවරයා හමු වූහ. ‘‘ආණ්ඩුවේ ඇමැති ධුර භාර ගෙන සහයෝගය දෙන්න.’’ ජනාධිපතිවරයා දෙවැනි වරටත් විපක්ෂ නයකවරයාගෙන් ඉල්ලුවේය. විපක්ෂ නායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විපක්ෂයේ සිට ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය දෙන බවයි. ‘‘ඇමැති තනතුරු රටට බරක්, ජනතාව දැඩි විරෝධයක් පල කරනවා.’’ විපක්ෂ නායකවරයා කීවේය. ‘‘සජිත් ඔයා විපක්ෂ නායක කමේ ඉඳලා සහාය දෙන්න. සහාය දෙන්න එන මන්ත්‍රිවරුන්ට එන්න දෙන්න.’’ ජනාධිපතිවරයා තවදුරටත් ඉල්ලා සිටියත් විපක්ෂ නායකවරයා එය ප්‍රතික්ෂේප කළේය.

නොකියා රනිල් ගිය ගමන

ප්‍රකට දේශපාලනඥයන් වැඩි දෙනකු සහභාගි වූ අවමංගල්‍යයක් හා වර්ෂ පූර්ණ පිංකමක් මෙම සතියේ දී පැවැත්විණි. ද සන්ඩේ මෝනිං පුවත්පතේ කර්තෘ මන්දනා ස්මයිල්ගේ මවගේ අවමංගල්‍ය පැවැත්වුණේ බොරැල්ල කනත්තේය. අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ පෞද්ගලික අවමංගල්‍ය ශාලාවක දේහය තැන්පත් කර තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කරමින් මල් වඩමක් හා ශෝක පණිවුඩයක් එවා තිබුණි. එහෙත් කිසිවකු නොසිතූ අවස්ථාවක ජනාධිපතිවරයා මල්ශාලාවට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූයේය. අවමංගල්‍ය නිවසේ සිටි අය සමග දේශපාලනය ගැන කතා කිරීමටද ඔහු අමතක කළේ නැත. දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර, එරාන් වික්‍රමරත්න, ටිරාන් අලස්, රවි කරුණානායක යන දේශපාලකයන්ද එක්ව සිටියහ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර දිසානායක, විජිත හේරත්, හරිනි අමරසූරිය මෙන්ම කේ.ඩී. ලාල් කාන්තද මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

හිටපු අමාත්‍යවරයකු වන දිවංගත මංගල සමරවීරගේ වර්ෂ පූර්ණ බණ හා දානමය පිංකම පැවැත්වුණේ පානදුර බොල්ගොඩ පිහිටි නිවසේදීය. පිංකම සූදානම් කළේ මංගලගේ සහෝදරිය වන ජයන්ති සමරවීර හා මිතුරකු වන සමීරය. මෙම පිංකමට සමගාමීව මාතර පිහිටි මංගලගේ සොහොන් කොතට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදුවිය. ධර්මානුශාසනාව ආරම්භ වීමට ප්‍රථම ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවසට පැමිණියේය. මංගලගේ ඥාතීන් සමග කතා බහ කළ ජනාධිපතිවරයා බණ ඇසීමට සූදානම් විය. ධර්ම දේශකයාණෝ පැයක කාලයක් ධර්මානුශාසනාව පැවැත්වූ අතර සම්පූර්ණ කාලයම ජනාධිපතිවරයා බණ ඇසුවේය.

මෙම අවස්ථාවට ටිරාන් අලස්, හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න, කංචන විජේසේකර, රවි කරුණානායක, රෙජිනෝල්ඩ් කුරේ යන දේශපාලනඥයෝ ද එක්ව සිටියහ. ධර්මානුශාසනයෙන් පසු මංගලගේ නිවසේ ඉහළ මාලයේදී දේශපාලන සාකච්ඡාවක් පැවැත්විණි. එරාන් වික්‍රමරත්න හා හර්ෂද සිල්වා යන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු හා ජනාධිපතිවරයා අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් පසු රවි කරුණානායක හිටපු ඇමැතිවරයා සමග ද සාකච්ඡාවක් පැවැත්විණි. කෙසේ වෙතත් දානමය පිංකමට පැමිණ සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පමණි.

සජිත් රන්ජා උස්සයි

හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට නිල වශයෙන් ජනාධිපති සමාව හිමි වූයේ සිකුරාදා දිනයේය. තමන් අධිකරණයට හා විනිසුරුවරුන් ගැන කරපු ප්‍රකාශය අසත්‍යයක් බවට දිවුරුම් ප්‍රකාශයක් දීමෙන් පසු ඔහුට ජනාධිපති සමාව හිමි වූයේ කොන්දේසි සහිතවය. රන්ජන් නිතරම ප්‍රකාශ කළේ තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බවයි. බන්ධනාගාර බස් එකට නගිද්දීත් ‘‘මම එදා කිව්වේ ඇත්ත මල්ලි. මරනවා කීවත් ඒක වෙනස් වෙන්නෙ නැහැ’’ කියපු රන්ජන් රාමනායක අන්තිමේ සිය අදහස වෙනස් කර ගත්තේය. ‘‘එයාලා සේරම යාළුවෝ මල්ලි’‘ කියූ රන්ජන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සමාව ගැනීමට සිද්ධ වීම දෛවෝපගතය.

කෙසේ වෙතත් රන්ජන් නිදහස් කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම දැනට ඇමතිවරු ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර ද විශාල වැඩ කොටස් කළහ. රන්ජන් නිදහස් කර ගැනීමට නීතිමය කටයුතු කළේ ඇමැති විජයදාස රාජපක්ෂය. අධිකරණයට දිවුරුම් ප්‍රකාශය දීමෙන් පසු රන්ජන් සිකුරාදා දහවල් නිදහස් කරන බව ආණ්ඩුව කීවේය. ඒ අනුව ජනාධිපතිවරයා කොන්දේසි සහිත ජනාධිපති සමාවට අදාළ ලිපි ලේඛනවලට අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුට නිදහස හිමි විය.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රන්ජන් නිදහස් කිරීමේ අවස්ථාවට ආණ්ඩුව වෙනුවෙන් සහභාගි වූයේ මනූෂ නානායක්කාර ඇමැතිවරයාය. එනමුත් ඔහුට වූයේ අකරතැබ්බයකි. මනූෂ ලිපි ලේඛන භාරදී රන්ජන් හිර ගෙදරින් නිදහස් කර ගන්නවාත් සමග එම ස්ථානයට විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් පැමිණියහ. ඔවුන් රන්ජන් වට කර ගෙන බන්ධනාගාරයෙන් එළියට පැමිණියේ රැස්ව සිටි ජනතා ප්‍රතිචාර මැදය. රන්ජන් එළියට ගැනීමට කැප වූ ආණ්ඩුවේ පිරිසට වඩා සමගි ජන බලවේගයේ පිරිස ඔහු වටා එක් වූහ. ‘‘මාව නිදහස් කිරීමට කැප වූ අයට ස්තුතියි’’ රන්ජන් බන්ධනාගාරය අසලදී කියා විපක්ෂ නායකවරයාගේ කාරයට නැගුණේ ආණ්ඩුවේ පිරිස අසරණ කරමිනි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් පුරප්පාඩු වුවහොත් ඊට රන්ජන් නම් කරනවා. විපක්ෂ නායකවරයාගේ පොරොන්දුව විය. රන්ජන් එළියට ආවොත් ඔහු පාර්ලිමේන්තු යාමට තමා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බව පොරොන්දු දුන් ඇමැති හරීන් ප්‍රනාන්දු මේ අවස්ථාවේදී දක්නට ලැබුණේ නැත. ඔහු රන්ජන් නිදහස් කරන තුරු කළු සාටකයක් පලඳින බව කීවද ඒ සාටකයක් හරීන්ගේ ගෙලෙන් නොදැනීම ගැලවී ගියේය.

වැලිකඩ බන්ධනාගාරයේ සිට රන්ජන් සජිත් ප්‍රේමදාස සමග පැමිණියේ හුණුපිටිය ගංගාරාමයටය. ආගමික වතාවත්වලට එක් වූ රන්ජන්ට මහා සංඝරත්නය කියා සිටියේ අනවශ්‍ය ප්‍රකාශ නොකරන ලෙසයි. ඔහුට ගංගාරාමයේදී දේශපාලන උපක්‍රම ගැන ලියැවුණු පංචතන්ත්‍රය කෘතියක්ද ලැබුණේ කියවා තේරුම් ගැනීමටය. කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයේ දී ​රන්ජන් රාමනායක නැගීමට සිටියේ මනූෂ නානායක්කාර ඇමැතිවරයාගේ වාහනයටය. එම වාහනය අවහිර වන ලෙසින් විපක්ෂ නායකවරයාගේ වාහන ගාල් කර තැබීම නිසා රන්ජන්ට වූයේ විපක්ෂ නායකවරයාගේ වාහනයට නැගීමටය.

Aruna