Saturday, February 07, 2026
Follow Us
 ආර්ථිකය මෙහෙයවන්නෙ කවුද ආණ්ඩුව පාලනය කරන්නෙ කවුද කියලා අපි දන්නෙත් නෑ

ආර්ථිකය මෙහෙයවන්නේ කොතැනින්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මහජන නියෝජිතයෙකු ලෙස තමන්ද නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. එපමණක් නොව ආණ්ඩුව මෙහෙයවන්නේ කවුද යන්න පවා තමන් නොදන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන්ට පවා නිවැරදි අවබෝධයක් නොමැති බවද ඔහු පවසනවා. ලබන සතියේ, ලබන මාසයේ අර්බුදය විසඳෙන බව, ඩොලර් ලැබෙන බව ප්‍රකාශ කළද එසේ විසඳුම් නොලැබෙන බව අසා සිටින පුද්ගලයන් මෙන්ම ප්‍රකාශ කරන පුද්ලයන්ද හොඳින්ම දන්නා බව පෙන්වා දෙන අනුර යාපා මහතා පවසන්නේ අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදුවිය යුතු බවයි. එවැනි සාකච්ඡා හරහා විසඳුම් සොයාගත හැකි බවද ඔහු සඳහන් කරනවා.

ජනාධිපතිවරයා හදිසියේ විදෙස් සංචාරයක නිරත වන්නේ කුමක් සඳහාද යන්න තමා නොදන්නා බවත්, කෙසේ නමුත් මේ මොහොත නිවාඩු ලබා ගැනීමට සුදුසු අවස්ථාවක් නොවන බවත් ඔහු පවසනවා. නිවාඩු ලබා ගැනීම නොව සිදුකළ යුත්තේ අර්බුදවලින් මිරිකී සිටින ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම බවද අනුර යාපා මහතා පෙන්වා දෙනවා.

(LNW)