Saturday, November 07, 2026
Follow Us
දීපවාලි උත්සවයට නම් කළ බලප්‍රදේශ කිහිපයක සුරා සැල් හෙට වැසේ
2026 වර්ෂයේ දීපවාලි උත්සවය නිමිත්තෙන් දිවයිනේ නම් කරන ලද බලප්‍රදේශ කිහිපයක හෙට (08) මත්පැන් හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

2026 වර්ෂයේ දීපවාලි උත්සවය නිමිත්තෙන් උතුරු පළාත තුළ, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ද මහියංගනය සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හැර බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමත ර.බී.07 සහ තුන් අවුරුදු බුටික්විලා බලපත්‍ර ස්ථාන හැර අනෙකුත් සිල්ලරට විකිණීමේ මත්පැන් බලපත්‍ර ස්ථාන 2026 නොවැම්බර් මස 08 වන ඉරු දින වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
 
ඒ අනුව ඉහත සඳහන් ප්‍රදේශවල, ඉහත සඳහන් පරිදි සිල්ලරට විකිණීමේ මත්පැන් බලපත්‍ර ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 1913 හදිසි ඇමතුම් අංකය මඟින් සුරා බදු මෙහෙයුම් මැදිරිය වෙත ලබා දෙන මෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී. එන්. ඒ. පේමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ බල පත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉහත බලප්‍රදේශ වල සුරා බදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත.