Saturday, November 07, 2026
Follow Us
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති  ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති හමුවෙයි
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (06) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති අතිගරු දමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh) මහතා හමු වී ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඵලදායී අදහස් හුවමාරුවක නිරත විය.

 

මෙහි දී 2025 සැප්තැම්බර් මාසයේ පැවැති ශ්‍රී ලංකා–ඉතාලි ප්‍රථම දේශපාලන උපදේශන වටයේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම මෙන්ම 2027 වසරේ මුල් භාගයේදී පැවැත්වීමට අපේක්ෂිත මීළඟ උපදේශන වටය සඳහා සිදු කරනු ලබන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
 
ඉතාලි රජය විසින් ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබාදෙන මිත්‍රත්වය, සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
 
දෙරට අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දෙරටටම ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාවන් ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වයම සිය කැපවීම මෙහි දී යළිත් තහවුරු කළහ.