Saturday, November 07, 2026
Follow Us
බන්ධනාගාරවල අධික තදබදය විමර්ශනයට ආංශික අධීක්ෂණ කාරක සභාව බන්ධනාගාර පරිශ්‍රවල නිරීක්ෂණ චාරිකාවක

බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය අවම කිරීම සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් ඊයේ (06) බන්ධනාගාර පරිශ්‍ර කිහිපයක  නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල යන පරිශ්‍ර නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි. 

මෙහි දී බන්ධනාගාර තදබදය, මුළුතැන්ගෙය කටයුතු, රෝහල් පහසුකම්, බන්ධනාගාර පරිශ්‍රයන්හි අන්තරාදායක ගොඩනැගිලි ඇතුළු සමස්ත ගොඩනැගිලිවල තත්වය, අප ජලය බැහැර වන කාණු පද්ධති, බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුකම් සහ ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කෙරිණි.

මෙම අවස්ථාවට  රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  මුජිබුර් රහුමාන් , නීතිඥ තුෂාරි ජයසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්වූහ. එයට අමතරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩ ආවරණ) ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර  ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මේ සඳහා සහභාගී විය.