කැබිනට් මණ්ඩලයට තවමත් නිළ වශයෙන් ඉදිරිපත් නොවූ බව කියන යුගදනවි ගිවිසුමේ පිටපත් කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සතුව පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
එම අමාත්‍යවරුන් මෙම ගිවිසුමේ පවතින අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ දිගින් දිගටම ප්‍රශ්න කර ඇත්තේ එම ගිවිසුමේ පිටපතේ සඳහන් කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බවයි කැබිනට් අමාත්‍යවරයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ඉකුත්දා යුගදනවි ගිවිසුමේ පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු සඳහන් කළේ එම ගිවිසුමේ පිටපත් කැබිනට් අමාත්‍යවරුන් පවා තමාගෙන් ඉල්ලා සිටි බවයි.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඊට සති කිහිපයකට පෙර යුගදනවි ගිවිසුමේ පිටපත් තමන් ලබාගත් බවයි. එහෙත් ආණ්ඩුව අපහසුතාවයට පත්වන බැවින් එම ගිවිසුමේ පිටපත් ප්‍රසිද්ධ නොකිරීමට වගබලාගත් බවයි ඔහු කියා සිටියේ. කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුගදනවි ගිවිසුමේ පිටපත සහ තමන් සතුව ඇති ගිවිසුමේ පිටපත සසඳා බැලිය යුතු බවද අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව අනුර කුමාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිවිසුමේ පිටපත සත්‍ය ද, අසත්‍ය ද යන්න තීරණය කළ හැකි බවයි එම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
(Neth)