Tuesday, February 10, 2026
Follow Us
පාර්ලිමේන්තු සැසිවාර කල්දමන්නැයි විපක්ෂයෙන් යෝජනාවක්

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අද දිනයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක නිලධාරීන් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙණු ඇති.

පක්ෂ නායක රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11ට පැවැත්වීමට නියමිතයි. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා. මෙම තත්ත්වයද සැලිකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරෙණු ඇති.

මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණේ අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීමටයි. පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ සඳහන් කර තිබුණා.

පාර්ලිමේන්තු සැසිවාර කල්දැමීමේ යෝජනාවක් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කරන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

(Neth)