Wednesday, February 11, 2026
Follow Us
රනිල්ගේ සහ රතන හිමිගේ මන්ත්‍රීධූර සම්බන්ධයෙන් පෙත්සමක්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, සහ නීතිපති ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ සෑම පක්ෂයක් විසින්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන් පිළිබඳ නම් ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස දන්වා 2020 වසරේ අගෝස්තු මස 7 වන දා මැතිවරණ කොමිසම විසින් සියලුම පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දුන් බවය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ කාලසීමාව තුළ මැතිවරණ කොමිසමට ලබා නුදුන් බවට ඔහු චෝදනා කරයි.

එය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

(Aruna)