සිය ධූර කාලය අවසන් කරන දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් Golam Sarwar මහතා ජූනි 22 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙම හමුවේදී කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා මහලේකම්වරයා විසින් සිදු කරනු ලැබූ සේවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැසසුමට ලක් කළා ය.
2026 ජූනි 23 දින කොළඹදී පැවැත්වීමට නියමිත “ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව” සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර දකුණු ආසියාතික කලාපය තුළ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා කලාපීය මට්ටමෙන් ක්‍රියාමාර්ගවලට යොමු වීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
සාර්ක් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ සාර්ක් රාමුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කලාපීය වැඩසටහන් පිළිබඳව මහලේකම්වරයා අග්රාමාත්යතමිය දැනුවත් කළ අතර විශේෂයෙන්ම, සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ ළමා පෝෂණය නංවාලීම සඳහා සාර්ක් සංවිධානය ගෙන යන ප්රයත්න පිළිබඳව ද අවධානය යොමු කළේ ය.
කලාපීය සම්බන්ධතා සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාර්ක් සංවිධානය සහ අනෙකුත් කලාපීය සංවිධාන අතර සමීප සබඳතා ගොඩනැගීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.
සාර්ක් සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය යළි තහවුරු කළ අග්‍රාමාත්‍යතුමිය, කලාපීය සාමය සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ක් සංවිධානය ගෙන යන ප්රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ලබාදෙන බව ද ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට කත්මණ්ඩුහි පිහිටි සාර්ක් ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ (ESC) වරුණ විල්පත, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.