Monday, June 22, 2026
Follow Us
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ ලේබර් පක්ෂයේ (Labour Party) නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි.

අංක 10 ඩවුනින් වීදියේ (10 Downing Street) පිහිටි නිල නිවසින් පිටත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව දැනුම් දුන් බව BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

සිය ප්‍රකාශය සිදු කරමින් ස්ටාමර් කියා සිටියේ තමන් ධුරය දැරූ කාලය තුළ ගත් සෑම තීරණයක්ම “තමන් ආදරය කරන රට සැමවිටම පෙරට තැබීම” වෙනුවෙන් ගත් තීරණ වූ බවයි.

එහිදී සිය බිරිඳ වන වික් (Vic) වෙත ස්තූතිය පිරිනැමූ අගමැතිවරයා ඇය තමාගේ ශක්තිය වූ බව සඳහන් කළේය. එමෙන්ම තමාගේ ආඩම්බරය සහ සතුට වන සිය ආදරණීය දරුවන්ට “හැකි උපරිමයෙන් හොඳම පියා” වීම තමාගේ බලාපොරොත්තුව බව ද ඔහු පැවසීය.

මේ අතර, අග්‍රාමාත්‍ය ධුරය සඳහා ස්ටාමර් වෙනුවට පත්වීමට ඉඩකඩ ඇති ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) පසුගිය සතියේ පැවැති අතුරු මැතිවරණයෙන් මේකර්ෆීල්ඩ් (Makerfield) ආසනය ජයග්‍රහණය කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා අද දිනයේ වෙස්ට්මිනිස්ටර් (Westminster) වෙත පැමිණීමට නියමිතව ඇත.