Monday, June 22, 2026
Follow Us
ළමා ආරක්‍ෂණය වෙනුවෙන් තීන්දු තීරණ රැසක්
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ බහු ආංශික යාන්ත්රණය රැස්වෙයි
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ බහුආංශික යාන්ත්රණය පසුගියදා (19) කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශ ලේකම් තරංගනී වික්රමසිංහ මහත්මියගේ ප්රධානත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශයේ දී රැස්විණි. මෙම කමිටුව රැස්වනු ලැබූයේ දෙවන වරටය.
පෙර කමිටු අවස්ථාවේදී ලබාගත් තීරණ ඇසුරින් අමාත්ය මණ්ඩලයය වෙත අමාත්ය මණ්ඩල සටහනක් මගින් ඉදිරිපත් කළ ත්රෛමාසික වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ අතර එම ක්රියා මාර්ගයන්හි ප්රගතිය සමාලෝචනය මෙහිදී පළමුවෙන් සිදුකෙරිණි.
පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියද ඇතුළුව ළමා ආරක්ෂණය වෙනුවෙන් ක්රියාත්මක වන ආයතනයන්හි නිලධාරී පුරප්පාඩු පවතින බවත්, දරුවන් සම්බන්ධ පැමිණිලි සහ නඩු සඳහා යුක්තිය ඉෂ්ට කිරීමට වන ප්රමාදය සඳහා මෙම නිලධාරී පුරප්පාඩුව තදබල සාධකයක් වන බව ද කමිටුව විසින් හඳුනා ගන්නා ලදී.
ඒ සඳහා අවශ්ය බඳවා ගැනීම් කඩිනම් කිරීම සඳහා කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන වෙත කමිටුව ලෙස නිර්දේශ නිකුත් කිරීමට මෙහිදී එකඟතාවය පළවිය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ පිහිටුවා ඇති පොලිස් ඒකකය ස්වාධීන කිරීම පිළිබඳ සාකච්ඡා වූ අතර ඒ අනුව ද්විතීයනය පදනම යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත අනුයුක්ත කර ගැනීම සුදුසු බවට යෝජනා වූ අතර එමයෝජනාව ආයතනික මට්ටමේ සාකච්ඡා සඳහා යොමු කළ යුතු බවට නිර්දේශ විය.
උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගැනීමේ සහ ඒවා ලබාදීමට මැදිහත්වීම පිළිබඳ පෙරට කමිටු අවස්ථාවේදී සාකච්ඡා කර තිබූ අතර දැනට උතුරු මැද සහ දකුණු පළාතේ හඳුනා ගැනීම සිදුකර උප්පැන්න සහතික ලබාදීම සිදුකර අවසන් බවට පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (මධ්යම රජය) විසින් කමිටුව වෙත වාර්තා කරන ලදී
මීට අමතරව වතු ආශ්රිත සහ ධීවර ප්රදේශවල උප්පැන්න සහතික ඇතුළු සියලු ලියාපදිංචි කිරීමේ සහතික නොමැති පවුල් සහ දරුවන් හඳුනා ගනිමින් ජංගම සේවා හරහා ඒවා ලබාදීමට කටයුතු කළ යුතු බවට ද නිර්දේශ විය.
ළමා මහධිකරණ ස්ථාපිත කිරීම මගින් ළමුන් පිළිබඳ වන නඩු කටයුතු ඉක්මනින් අවසන් කර යුක්තිය කඩිනම් කිරීමේ අවශ්යතාවය ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය
මීට අමතරව පාසල් දරුවන් තුළ 1929, 109 වැනි උපකාරක සේවාවලට අමතරව 1926 ජාතික මානසික සෞඛ්ය උපකාරක සේවය ද ප්රවර්ධනය කළ යුතු බව තීරණය විය.
මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශ ලේකම් තරංගනී වික්රමසිංහ මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිල්මිණි හේරත් මහත්මිය, අධ්යාපන අමාත්යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) පි. ඒ. කාරියවසම් මහතා, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ප්රීති ඉනෝකා රණසිංහ මහත්මිය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය භාර නියෝජ්ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාතික අධිකාරියේ අධ්යක්ෂ ප්රතිපත්ති සහ වැඩසටහන් ඉන්දික සිරිවර්ධන මහතා ඇතුළු කාන්තා සහ ළමා කටයුත අමාත්යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.