Monday, June 22, 2026
Follow Us
තිහගොඩ ගොවීන් 781කට ගොවි වන්දි

නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත සෘතු සප්තකයක් (කන්න 7ක්) පුරා සිය වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් 2026 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 1200 ක (කෝටි 120ක) වෙන් කෙරිනි ඒ අනුව, තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් පීඩාවට පත් ප්‍රතිලාභී ගොවීන් 781 දෙනෙකු සඳහා අද දින චෙක්පත් බෙදා දීම මිදෙල්ලවල පුරාණ මහ විහාරයේ දි සිදු කෙරුණි.

මෙතෙක් කලක් වන්දි ලබා දීම පොරොන්දුවලට පමණක් සීමාවී තිබූ යුගය නිමා කර, එය යථාර්ථයක් බවට පත් කරමින් ගොවිතැන් කටයුතු වෙනුවෙන් තමන්ට ධෛර්යයක් ලබා දුන් මාලිමා රජයේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැමිණ සිටි ගොවි ජනතාව සිය හෘදයාංගම ස්තුතිය පළ කළහ.

මෙහිදී සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, ලවණ බාධකයේ දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක (කෝටි 100ක) ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. "මේක ආවට ගියාට කරන්න බැහැ. ඉදිරි අවුරුදු 50කට නැවත මේ ප්‍රශ්නය ඇති නොවෙන්න, අපේ අනාගත පරම්පරාව නිල්වලා ගඟේ ජලයෙන් යට නොවෙන්න විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ නිසා අපි මේකේ හයිඩ්‍රෝලික් (Hydraulic) විශේෂඥ ඇතුළු දේශීය හා ඇමරිකානු ඉංජිනේරුවන්ගෙන් සමන්විත ලංකාවේ ප්‍රධානම ආයතනයක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට අධ්‍යයන කටයුතු භාර දී තිබෙනවා. ඉදිරි වර්ෂාපතන තත්ත්වයන් සහ ගඟේ ජල ගැලීම් (Flow) ගණනය කරමින් ඔවුන්ගේ අවසන් නිර්දේශ ඉදිරි කාලයේදී ලැබුණු සැනින් ස්ථිර පිළියම් යොදනවා," යැයි මන්ත්‍රීවරයා පැවසීය.


මීට අමතරව, වේලි, ඇලවල්, අමුණු සහ කැඩුණු පොම්පාගාර අලුත්වැඩියාවට තවත් මිලියන 10ක් ද, කුඹුරු අස්වැද්දීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රතිපාදන ලෙස තවත් මිලියන 300ක් ද වෙන් කර ඇති බව ඔහු අනාවරණය කළේය. එසේම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකතු වී නිල්වලා ගඟ සහ ඒ වටා ඇති සියලුම ඇල මාර්ග සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කර ඇති නිසා, පහුගිය කාලයේ පැවැති වර්ෂාවලදී පවා ප්‍රදේශය යට නොවී ජලය බැස ගිය බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. තවද, දිගුකාලීන ස්ථිර විසඳුමක් ලෙස 2012 වසරේ යෝජනා වූ, ගිං ගඟ මඳුගැටෙන් හරස් කර ජලාසයක් සාදා උමඟක් හරහා මුරතෙල ජලාසයට ජලය ගෙන යන "ගිං-නිල්වලා ව්‍යාපෘතියේ" අධ්‍යයන කටයුතු ද නැවත ආරම්භ කර ඇති බවත්, පසුගිය රජය සමයේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා සිටි කාලයේ කිසිදු වැඩක් නොකර චීන සමාගමකට ගෙවන ලද රුපියල් බිලියන 04 ක මුදල සම්බන්ධයෙන් මේ වන විට නඩු කටයුතු සිදුවෙමින් පවතින බවත් ඔහු අනාවරණය කළේය.


දේශපාලන සංස්කෘතියේ වෙනස ගැන කතා කරමින් මහාචාර්ය අබේවික්‍රම මහතා කියා සිටියේ, ඉස්සර ඇමතිවරු යද්දී පෙරහැරවල් වගේ ඉස්සරහෙන් පස්සෙන් සෙකියුරිටි වාහන දාගෙන, පාරවල් වහගෙන ගිය, හොරකම් කරලා මාංචු පිටින් උසාවි යද්දීත් ආඩම්බරයෙන් මාංචු කුට්ටම පෙන්වූ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවයි.


සභාව අමතමින් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ, "මේක ගොවි ජනතාවට විශේෂ දවසක්. පාරට බැහැලා, උද්ඝෝෂණ කරලා, ඇමතිවරුන්ගේ ගෙවල් ගාණේ රස්තියාදු වෙන්නේ නැතුව අවුරුදු 7ක් තිස්සේ ප්‍රමාද වෙච්ච සාධාරණයක් ඉෂ්ට වෙච්ච මොහොතක්. මම විපක්ෂයේ ඉන්නකොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වැඩිම කාලයක් රණ්ඩු වුණේ මේ නිල්වලා වන්දි ප්‍රශ්නෙටයි ලවණ බාධක ප්‍රශ්නෙටයි. අපි බලයට ඇවිත් පළමු කමිටු රැස්වීමෙන්ම අභේවික්‍රම මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරලා, කැබිනට් පත්‍රිකා දාලා අද මේ කෝටි 120ක මුදල එකවරම ගොවීන්ට ලබා දුන්නා," යනුවෙනි.


පසුගිය ද්විත්ව සුළි කුණාටුව සහ ජාත්‍යන්තර දේශපාලන අර්බුද මැද වුවද රටේ ආර්ථිකය ස්ථාවර කර ඇති බවත්, ඉතිහාසයේ වැඩිම අපනයන සහ සංචාරක ආදායම ලබා ගනිමින්, රාජ්‍ය සේවක, විශ්‍රාමික සහ වතු වැටුප් වැඩි කර ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. මීට පෙර ආණ්ඩු විසින් විකුණා දැමීමට ලැයිස්තුගත කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලාභ ලබන තත්ත්වයට පත් කළ බී.සී.සී (BCC) ආයතනය (පසුගිය වසරේ භාණ්ඩාගාරයට ලක්ෂ 500ක ලාභාංශ ගෙවූ), කහටගහ පතල, එප්පාවල පොස්පේට් සහ මිනරල් සෑන්ඩ්ස් වැනි ආයතන කිසිවක් විකුණා නොමැති බවත්, රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති හරහා ඒවා ශක්තිමත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, මන්ත්‍රීවරුන්ගේ අවුරුදු 5 පෙන්ෂන් ක්‍රමය, ඇමතිවරුන්ගේ කොළඹ 7 සුඛෝපභෝගී නිල නිවාස සහ ආරක්ෂක රථ පෙළපාලි සම්පූර්ණයෙන්ම නතර කර මහජන බදු මුදල් ඉතිරි කර ඇති බව ඔහු අවධාරණය කළේය.


මාතර දිස්ත්‍රික්කය තුළ මේ වන විට උද්ගතව ඇති දැඩි ඩෙංගු වසංගත තත්ත්වය පිළිබඳව ද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී අතිශය වැදගත් සහ දැඩි ප්‍රකාශයක් සිදු කළේය.
"ජූනි 14 සිට 20 දක්වා දින 6ක් ඇතුළත මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 25,656ක් පරීක්ෂා කර තිබෙනවා. ඉන් ස්ථාන 775ක (6.2%ක) මදුරු කීටයන් හමු වුණා. රතු නිවේදන 598ක් නිකුත් කරලා, නඩු 330ක් දාලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයෙන් දැනට මරණ 3ක් වාර්තා වෙනවා. දිනකට නඩු 50කට වඩා දානවා. නමුත් කනගාටුව කියන්නේ ජනතාවගේ සහයෝගය උනන්දුව හරිම අඩුයි. සමහරු රතු නිවේදනවලට, නඩුවලට, පී.එච්.අයි. මහත්වරුන්ට විතරක් නෙවෙයි මැරෙන්නවත් බය නැහැ වගේ ඉන්නේ," යැයි අමාත්‍යවරයා කනගාටුවෙන් ප්‍රකාශ කළේය.


මෙම වසංගතය පාලනය කිරීම සඳහා විශේෂ තීරණ කිහිපයක් ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. "මාතර කොටුව ඇතුළත, උයන්වත්ත සහ වැඩිම රෝගීන් ඉන්න ඉසදින් ටවුන් (Issadeen Town) ප්‍රදේශවල විදේශගත වූ හෝ කොළඹ පදිංචි අයගේ වහලා තියෙන ගෙවල් 17ක් එක පාරකම තියෙනවා. ගේට්ටු ඉබ්බෝ දාලා වහලා. හැබැයි ඒව ඇතුළේ වතුර ටැංකි උඩ සහ වත්ත පුරාම ඩෙංගු තවාන්. අල්ලපු ගෙදර මිනිස්සු වත්ත සුද්ධ කරාට වැඩක් නැහැ මදුරුවෝ මේ වහපු ඉඩම්වලින් බෝවෙලා එනකොට. ඒ නිසා අපි ඊයේ රාත්‍රියේ තීරණය කළා නගර සභා පනතේ ප්‍රතිපාදන අනුව, පොලිසිය සහ පරිසර පොලිසිය පෙරටු කරගෙන, වීඩියෝ ගත කරමින් මේ වහලා තියෙන නිවාසවල ගේට්ටු සහ දොරවල් කඩා ඇතුළු වෙන්න. ඇතුළු වෙලා නගර සභාවේ කම්කරුවන් යොදවලා ඒ වතු පිටි සහ නිවාස සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. පිරිසිදු කරලා නැවත අලුතෙන් ඉබ්බන් දාලා වහනවා.

හැබැයි යතුරු නගර සභාවේ තියාගන්නේ. අයිතිකාරයෝ යතුර ඉල්ලගෙන එනකොට, පිරිසිදු කිරීමට ගිය ශ්‍රම පිරිවැය වගේ හතර ගුණයක (4x) දඩයක් ගහලා තමයි යතුර දෙන්නේ.
එසේම, මේ ඉදිරි සතිය ඇතුළත ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් වසා දමා ඇති නිවාස ලැයිස්තු ලබාගෙන ඒවා විවෘත කර පිරිසිදු කරන බවත්, ඉන් පසුවත් පාඩමක් ඉගෙන නොගතහොත් එම නිවාස රජයට පවරාගෙන නිවාස නොමැති ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් සකසන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය. රට සෙල්ලමකට ගත නොහැකි බවත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බැවින් මෙම තීරණාත්මක පියවර ගන්නා බවත් පවසමින්, වංචාවෙන් දූෂණයෙන් තොර පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් උදෙසා රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.