අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ කළමණාකරණ මණ්ඩලයේ නව සාමාජිකයින්ට පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) සිදු විය.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ඒ. කලුආරච්චි මහතා කළමණාකරණ මණ්ඩලයේ නව සාමාජික සභාපති ලෙස පත් කර ඇත. ජේ.කේ.මහල්පත් මිය, වෛද්‍ය යු.ඒ.කේ. තෙන්නකෝන් මහතා, එස්.සෙල්ලතම්බ් මිය සහ වෛද්‍ය එන්. ප්‍රනාන්දු මහතා සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.
2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 42( 3) (ආ) සහ 43 (1) වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙළක් හඳුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවා ඇත.