Sunday, November 09, 2025
Follow Us
"Youth link" Sri Lanka' තරුණ හුවමාරු වැඩසටහන යාපනයේදී ඇරඹේ

"2026 වසරේ දී කලුන්ඩායි සෞන්දර්‍ය නිකේතනය ගොඩනඟන බවත් එහි දී බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ දී දමිළ තරුණයාට තරුණියට උඩරට පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන් හැදෑරීමේ අවස්ථාව හිමිවනවා සේම, දකුණේ තරුණයාට තරුණියට කලුන්ඩායි සෞන්දර්ය නිකේතනයේ දී භරත නාට්‍යයම් හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන "Youth link" Sri Lanka' තරුණ හුවමාරු වැඩසටහන පසුගියදා (07දා) යාපනයේ දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලයේදී ආරම්භ වූ අතර එහිදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම වැඩසටහන උතුරු පළාතේ කයිට්ස්, වේලනායි, ඩෙල්ෆ්, කරෙයි නගර් සහ යාපනය නගරය යන ස්ථාන 5 දී ක්‍රියාත්මක කෙරේ. දින 6ක් පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන ලබන 12 වෙනිදා අවසන් වීමට නියමිතය.

මෙම දේශීය තරුණ හුවමාරු වැඩසටහන “Connect – 2025 YOUTH Clubs” යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා දකුණේ දිස්ත්‍රික්ක 5ක තරුණ තරුණියන් සම්බන්ධ වන අතර, සෑම කණ්ඩායමක්ම තරුණ තරුණියන් 25 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 2 දෙනෙකුගෙන් සමන්විත වේ.

දින 6ක කාලය තුළ තරුණ තරුණියන් විවිධ සංස්කෘතික හා සමාජීය ක්‍රියාකාරකම්වල නිරත වීමට සැලසුම් කර ඇති අතර, දින 6ක කාලය තුළ නවාතැන් ගන්නා නිවැසියන් සමඟ එක්ව ආහාර පිළියෙළ කිරීම, ශ්‍රමදාන වැඩසටහන්, ආගමික වැඩසටහන්, රුක් රෝපණ වැඩසටහනක්, සංස්කෘතික වැඩසටහන්, ජන ක්‍රීඩා වල නිරත වීම සහ සත්කාරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික හා සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට “මිතුදම් චාරිකාවක” නිරත වීමට නියමිතය.

භූගෝලීයව දුරස්ථභාවයක් පැවතියත්, හදවතින් යාපනය දකුණට සමීප බව ද සභාපතිවරයා සඳහන් කළේය.

Youth link sri lanka ජාතික තරුණ සේවා සභාවේ අනන්‍යතවය සහිත ව්‍යාපෘතියක් බවත්, මෙවර එහි විශේෂත්වය වන්නේ එකවර යාපනයේ ස්ථාන 5කට දකුණේ දිස්ත්‍රික්ක පහක තරුණ තරුණියන් සහභාගි වීම බවත් සභාපතිවරයා සඳහන් කළේය.

දේශපාලනය විසින් ඇති කළ ජාතිකත්ව දුරස්ථභාවය නැති කිරීම වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරනවා මෙන්ම, මේ ඔස්සේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ කාර්යය ඉටුකරන බවද සඳහන් කළේය.

එහිදී Youth Club සාමාජිකයින් සාමයේ පරවියන් ලෙස ක්‍රියාත්මක විය යුතු බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහනෙන් පසු උතුරේ තරුණ තරුණියන් දකුණට පැමිණීමට නියමිතය.