එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් සත්කාරකත්වය ලබාදෙනු ලබන සනීපාරක්ෂාව සහ සැමට ජලය (Sanitation and Water for All - SWA) ගෝලීය හවුල්කාරිත්වයේ ප්‍රධාන විධායක නිලධාරී මුයට්වා සිටාලි (SWA Chief Executive Officer, Muyatwa Sitali), යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham, UNICEF Representative for Sri Lanka) යන මහත්ම මහත්මීන් ඇතුළු එම ගෝලීය හවුල්කාරිත්වයේ නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් මුණගැසී සාකච්ඡාවක නිරත වුහ.
මෙරට ජනතාවගේ සනීපාරක්ෂාව, සැමට පිරිසිදු පානීය ජලය ලබා දීම, රෝහල් පද්ධතියේ සනීපාරක්ෂාව අඛණ්ඩව පවත්වා ගෙන යාම වැනි කරුණු පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණි.
ප්‍රධාන ව්‍යාපෘති සහ අංශීය ප්‍රමුඛතා සඳහා හවුල්කරුවන් සහ සම්පත් සක්‍රීයව දායක කර ගැනීම පිණිස ගෝලීය හවුල්කාරිත්වයට ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද මෙහි දී අවධානය යොමු කෙරිණි.
2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව මෙම සංවිධානය සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන බව මෙහි දී සදහන් කළ එම නියෝජියන් මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය තාක්ෂණික, මූල්‍ය ඇතුළු සහයෝගීතාවය ලබා දීමට කැමැත්ත පළ කර සිටියේය.
ඉන්දුනීසියාව, නේපාලය, බංගලාදේශය, ඉන්දියාව සහ ගානාව ඇතුළු රටවල් ගණනාවකට මෙම ගෝලීය හවුල්කාරිත්වය අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත්, ලොව පුරා රටවල් 150 කට අධික සංඛ්‍යාවක රජයන්, සිවිල් සමාජ, පෞද්ගලික අංශය, එක්සත් ජාතීන්ගේ ආයතන, සහ පර්යේෂණ ආයතන ඇතුළු පාර්ශ්වකරුවන් රැසක් සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත් එම නියෝජිතයන් මෙහි දී සදහන්කර සිටියේය.
මෙරට ජනතාවගේ සනීපාරක්ෂාව, සැමට පිරිසිදු පානීය ජලය ලබා දීම, රෝහල් ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි සනීපාරක්ෂාව අඛණ්ඩව පවත්වා ගෙන යාම වෙනුවෙන් ලබා දෙන සහයෝගීතාවයට අමාත්‍යවරයා සිය කෘතඥතාවය එම නියෝජිතයන්ට මෙහි දී පලකර සිටියේය.
එක්සත් ජාතීන්ගේ 6 වන තිරසාර සංවර්ධන අරමුණ (SDG 6) වන "සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව" ළඟා කර ගැනීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වේ.
ශ්‍රී ලංකාව 2030 වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ තිරසාර ඉලක්කය කරා ගමන් කරමින් සිටින අතර 2010 වසරේ දී මෙම සංවිධානයේ සාමාජිකත්වය ද ලබා ගෙන ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, සබරගමු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය සුමාල් නන්දසේන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයේ වැඩසටහන් නිලධාරිනි (ජලය,සනීපාරක්ෂාව සහ දේශගුණ විපර්යාස ) නිලූෂා පටබැඳි, යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.