පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ එක් අදියරක් ඊයේ (26) නුගේගොඩ බස් නැවතුම්පොළේදී පැවැත්විණි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජංගම පරීක්ෂණාගාර බස් රථයක් යොදාගෙන මෙම අහඹු පරීක්ෂණ සිදුකර තිබේ.
එහිදී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් 172 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් 05 දෙනෙකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බව තහවුරු වී ඇත.