Sunday, March 29, 2026
Follow Us
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගනේමුල්ල පොලිස් වසමේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 423ක් හා මත්පෙති 3450 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරිය සම්බන්ධයෙන් අද (29) වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සැකකාරියගේ ස්වාමි පුරුෂයා හා පුත්‍රයා ආධාර අනුබල දී ඇති බවටත්, ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත පලාගොස් සිටින බවටත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටියදී 2026.03.24 දින ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන 2026.03.28 දින මොවුන් මෙරටට පිටුවහල් කර ඇත.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපල පැමිණිමේ පර්යන්තයේදී එදින දහවල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.

සැකකරුවන් අවුරුදු 23 හා 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

එසේ පෑලියගොඩ පොලිස් වසමේ නුගේ පාර ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු යතුරුපැදියක් පරික්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 642 ක් හා යතුරුපැදියද සමග සැකකරුවෙකු ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 37 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පෑලියගෙඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.