වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා ශ්රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැඟිල්ලේ (Maritime Facilitation Centre - MFC) ඉදිකිරීම් කටයුතු වල වර්තමාන තත්ත්වය ගැන සොයා බැලීය.
මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරුන් ද අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.
ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක, කළමනාකාර අධ්යක්ෂ ඝණක හේමචන්ද්ර යන මහත්වරුන් ද අධිකාරියේ නිලධාරීන් ද ඊට එක් වූහ.
වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු හා ඊට සමගාමීව ඉදි වූ වරාය අභ්යන්තර අධිවේගී මාර්ගය නිසා, වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි රාශියක් එම පරිශ්රයෙන් ඉවත් කිරීමට සිදු විය.
ඊට විකල්පයක් ලෙස කොළඹ කොටුව කැනල් අංගන පරිශ්රයේ මෙම නව පරිපාලන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ ජූලි මාසයේ දී ආරම්භ කර තිබේ.
වසර දෙදකින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණ ද කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ සිදු වූ ප්රමාදයන් හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් කටයුතු වල ප්රගතිය සියයට හැත්තෑපහක් (75%) පමණ ප්රමාණයක් වේ.
මෙම ව්යාපෘතියට මූල්ය ආධාර සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි.(ADB) .
එම ගිවිසුම් ගත මුදල රුපියල් බිලියන 5ක් හා ඇමරිකන් ඩොලර් මිලියන 2ක් වේ.
ගොඩනැඟිලි සංකීර්ණය මහල් 19කින් සමන්විත වන අතර මුළු වර්ග ප්රමාණය වර්ග මීටර් 35000 කි.
ව්යාපෘතිය අවසන් වූ පසු රුවල් නැවක ආකෘතියකට ගොඩනැඟිල්ල දර්ශනය වන අයුරින් ඉදිකිරීම් කටයුතු සැලසුම් කර තිබේ.
මෙම වරායෙ අධිකාරියේ පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකරන ස්ථානය ගැන සැලකීමේ දී, එය රේගු ප්රධාන කාර්යාලය ශ්රී ලංකා ටෙලිකොම් සහ වාණිජ බැංකු ශාඛා ආදී සේවා සැපයුම් ආයතන සමීපයේ නිසා වරාය සහ සමුද්රීය සේවාලාභීන්ට සිය කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව උදා වේ.
වරාය අධිකාරියේ අංශ 24කින් කාර්ය මණ්ඩලයේ 1600කට ආසන්න පිරිසක් මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, ඔවුන්ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය හා ප්රධාන මධ්යම බස්නැවතුම් සමීපයේ පිහිටා ඇති නිසා ප්රවාහන කටයුතු ද පහසු වේ.
චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව සහ චීන දුම්රිය සමාගම් සමූහය ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර 2026 මේ වසර අවසානයේ මෙම පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය ජනතාව සතු කිරීමට නියමිතය.