Wednesday, December 07, 2022
Follow Us
පිපිරෙන්නේ නැතිව ගෑස් පාවිච්චි කරන්නේ මෙහෙමයි

ඇත්තටම ගෑස් පුපුරන්නේ ඇයි?
පසුගිය සති කීපය පුරා සිදුවූ ගෑස් පිපිරීමේ සිද්ධීන් නිසා, සෑම ගෙදරකම පාහේ එදිනෙදා බත සකස් කරගැනීමට සහයක් වූ තම ගෑස් සිලින්ඩරය සහ ළිප දෙස වපරැසින් බලන්නට මහජනතාවට සිදුවී තිබේ. එනමුත් මෙසේ ගෑස් ළිප් පුපුරන්නේ ඇයි දැයි කියා කවුරුවත් හරියට දන්නේ නැත. ඒ ගැන සමාගම් කියන්නේ වෙනත් කතාවකි. පාරිභෝගිකයන්ගේ අත්දැකීම් තවත් කතාවකි. ඒ අතරේ ගෑස් පිපිරීම් ගැන දේශපාලනඥයන් කියන්නේ අමුතුම කතාවකි. ඇත්තටම ගෑස් පුපුරන්නේ ඇයි? මේ ඒ ගැන මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ඉනෝකා මන්තිලක සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.

‘‘ගොඩක් දෙනෙක් කියනවා හැම තැනම ගෑස් ටැංකි පුපුරනවා කියලා. එ්ත් ඇත්තටම මේ පුපුරන්නේ ගෑස් ටැංකි නෙමෙයි.” ආචාර්ය ඉනෝකා මන්තිලක කතාවට මුල පිරුවාය.

සාමාන්‍යයෙන් ඕනෑම අයෙක් ගෘහස්ථ ගෑස් ටැංකියක් මිලදී ගැනීමට යාමේදී මුලින්ම බලන්නේ එහි බරය. ඒත් සැබෑවටම අප සැලකිලිමත් විය යුත්තේ ගෑස් ටැංකියේ බරට වඩා ගෑස් ටැංකිය තුළ ඇති පීඩනය පිළිබඳවය.

ඕනෑම නිවසක භාවිත කරන ගෘහස්ථ ගෑස් ටැංකියක් නිර්මාණය කර ඇත්තේ ‘බාර් දහසයක’ (16 bar) උපරිම පීඩනයක් දරා ගැනීමට හැකිවන පරිදිය. එහිදී, බාර් එකක් යනුවෙන් හඳුන්වන්නේ මුහුදු මට්ටමේදී පවතින වායු ගෝලීය පීඩනයයි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේදී වායු ගෝලීය පීඩනය රසදිය මිලිමීටර් හත්සිය හැටක් (760 Hgmm) වන්නේය.

බාර් දහසය හෙවත් වායු ගෝල දාසයක පීඩනයකට වුණත් ඔරොත්තු දෙන පරිදි නිර්මාණය වන ගෑස් ටැංකි ක්ෂණිකවම පිපිරී යන්නේ නැත.

පසුගිය දිනවල සිදු වූ ගෑස් පිපිරීම්වලට මූලික හේතුව වී ඇත්තේ ගෑස් ටැංකියේ පීඩනය රේගියුලේටයට දාරා ගැනීමට නොහැකිව එය පුපුරා ගොස් ගෑස් ළිප් විනාශ වී යාමයි. ඒ අතරේ බොහෝදෙනෙක් සබන් වතුර භාවිත කරමින් ගෑස් ටැංකියේ කට වටා සබන් වතුර දමමින් එයින් ගෑස් ලීක් වන්නේද කියා බැලීමට පටන් ගත්තේය. එවිට බොහෝ ස්ථානවල ගෑස් ටැංකියේ කටෙන් නැතිනම් වෑල් එකෙන් ගෑස් කාන්දු වීමක් දක්නට ලැබිණි.

මේ ආකාරයට ගෑස් ටැංකියේ වැල්වයෙන්ම ගෑස් කාන්දු වන්නේ ගෑස් ටැංකියේ පීඩනය වැඩි වීම සහ යතා පරිදි ක්‍රියා නොකරන වැල්ව නිසාය. සිලින්ඩරය තුළ පීඩනය වෙනස් වීමට නම් LPG හි සංයුතියේ වෙනසක් සිදුවිය යුතුමය. ගෘහස්ථ පාරිභෝජනය සඳහා භාවිතයට ගන්නා ගෑස් ටැංකියට එල්.පී.ජී. ගෑස් පුරවන්නේය. මේ එල්.පී.ජී. ගෑස් කියා හඳුන්වන්නේ ලික්විෆයිඩ් පෙට්‍රොලියුම් ගෑස් ය එනම් ද්‍රවයක් බවට පත් කළ පෙට්‍රොලියුම් වායුවයි. අපේ රටේ පාරිසරික උෂ්ණත්වයේදී ද්‍රව තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා පෙට්‍රොලියුම් වායුව අධික පීඩනයක් යටතේ ගබඩා කර තැබිය යුතුය.

ඊට අමතරව, ගෑස් හි මූලිකවම අඩංගු වන සංයෝග දෙකක් ඇත්තේය. එයින් පළමු වැන්න වන්නේ ප්‍රෝපෙන්ය. දෙවැන්න බියුටෙන්ය. ඊට අමතරව, ගෑස් පිරිපහදු කිරීමේදී ප්‍රධාන සංයෝගයන්ට අමතර තවත් සංයෝගයන් ද ස්වල්ප වශයෙන් LPG සිලින්ඩරය තුළ තිබිය හැකිය.

කෙසේ වෙතත්, ප්‍රොපෙන් සහ බියුටෙන් යන රසායන ද්‍රව්‍යයන්ගේ හැසිරීම පිළිබඳව සඳහන් කරන්නේ නම් මේ රසායන දෙවර්ගයම වාෂ්පශීලීය. වායුගෝල එකක පීඩනය යටතේ, සෙල්සියස් අංශක ඍණ 41 ක පමණ උෂ්ණත්වයක දී ප්‍රොපෙන් බුබුළු දමමින් වාෂ්පවෙයි. ශීත ඍතුවේදී කැනඩාව සහ ඇලස්කාව ආදී රටවල උෂ්ණත්වය මෙවැනි අගයක් ගනී. එසේම වායුගෝල පීඩන එකක දී ජලය බුබුළු දමමින් වාෂ්ප වන්නේ සෙල්සියස් අංශක 100 දී බව කවුරුත් දන්නා කාරණයකි. වායුගෝල එකක පීඩනය යටතේ සෙල්සියස් අංශක ඍණ 0.5 ක උෂ්ණත්වයකදී බියුටෙන් බුබුළු දමමින් වාෂ්ප වෙයි. LPG තුළ මේ රසායන ද්‍රව්‍ය තිබෙන අනුපාතය මත සිලින්ඩරය තුළ පීඩනය රඳා පවතින්නේය.

“සිලින්ඩරය තුළ ප්‍රොපෙන් සංයුතිය වැඩිවෙනවා කියන්නේ, එතුළ පීඩනය වැඩිවෙන්න බලනවා කියන එකයි. ප්‍රොපෙන් සියයට 20 – 30 අතර ප්‍රමාණයක් සහ බියුටෙන් සියයට 80 -70 ක පාරාසයක් තුළ ගෑස් ටැංකියේ ගබඩා කර ඇති විට පිඩනයට වඩා සියයට 50 ක අනුපාතයකින් මෙම සංයෝග දෙක ගබඩා වී ඇති විට පීඩනය කිහිප ගුණයකින් වැඩි වෙනවා. අනික් අතට ද්‍රව විදිහට තැන්පත් කරන LPG වලින් කොටසක්, සෙල්සියස් අංශක විසිපහත් තිහත් අතර පවතින පාරිසරික උෂ්ණත්වය නිසා වායුවක් ලෙස සිලින්ඩරය තුළ පවතිනවා. ඒ කියන්නේ අධික පීඩනයක් යටතේ තමයි ගෑස් ටැංකිය ඇතුළේ මේ සංයෝග ගබඩා වෙලා තියෙන්නේ.” ඈ කියන්නීය.

ගෑස් කමිටු වාර්තාව එයි - ප්‍රධාන ගැටලුව හඳුනා ගනී

සාමාන්‍යයෙන් ගෑස් ටැංකියක සියයට හැත්තෑවක් බියුටෙන් අඩංගු වන්නේ නම් එහි පීඩනය බාර් තුනක් වැනි පීඩනයක් යටතේ ගෑස් ටැංකිය තුළ තබා ගත හැකිය. නමුත්, එම සංයුතිය සියයට පනහක ප්‍රතිශතයකින් වෙනස් කළ විට ගෑස් ටැංකියේ ඇති පීඩනය දෙගුණයකට මදක් වැඩියෙන්, එනම් බාර් 6කට වඩා වැඩි වන්නේය. එවිට ගෑස් ටැංකියේ කරවෑල්ව් එකට මේ පීඩනය දාරා ගැනීමට නොහැකි වුව හොත් ගෑස් කාන්දු වන්නේය.

මෙසේ සංයුතිය වෙනස් වීමත් සමග ගෑස් ටැංකි පුපුරා යාමටත් හැකි බව බොහෝ දෙනෙක් සිතන්නේය. නමුත්, මෙහි වන්නේ ගෑස් ටැංකිය පුපුරා යාම නොව එයට සවිකළ රේගියුලේටරය සහ ගෑස් ළිප පුපුරා යාම බව ඈ කියන්නීය.

“ගෑස් ටැංකිය කියන්නේ දෘඩ ඒ කියන්නේ ශක්තිමත් අසුරනයක්. එයට බාර් දාසයක අධික පීඩනයක් වුණත් දාරා ගන්න පුළුවන්. හරියට අපි කළයකට වතුර පුරවන්න පුරවන්න ඒ කළේ වෙනසක් වෙන්නේ නැහැ. අන්තිමට වතුර පිරිලා ඉතිරිලා ගියත් කළය පෙර තිබුණු විදිහටම තියෙනවානේ. ඒ වගේ තමයි ගෑස් ටැංකියත් එයට උපරිම පීඩනයට එනකල්ම එය දාරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ලංකාවේ කොහෙවත් ගෑස් ටැංකි පුපුරලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ ගෑස් ටැංකියේ සංයුතිය වෙනස් කළ නිසා හෝ වූ නිසා එහි පීඩනය වැඩි වෙලා තියෙන එකයි. අනික කර වැල්වය දුර්වල උනත්, රේගියුලේටරය සාදා තියෙන්නේ බාර් 6කට වඩා ගොඩක් වැඩි පිඩනයකට ඔරොත්තු දෙන විදියට නම්, කිසිම අනතුරක් වෙන්නේ නැහැ. මොකද, සිලින්ඩරයේ පීඩනය රේගියුලේටරය විසින් දරා ගන්න නිසා. රේගියුලේටරය සිලින්ඩරය තුළ ඇති පිඩනයට ඔරෝත්තෝ නොදෙනවානම්, අනිවාර්යයෙන්, ගෑස් කාන්දු වෙනවා. කිසිම කාන්දුවක් නොවෙන ලෙස ගෑස් බට ළිපට සවිවී ඇත්නම්, ළිප් නිවා ඇතිවිට බට තුළ පීඩනය වැඩි වෙනවා. දරාගන්න බැරි මට්ටමකට පීඩනය වැඩි උනාම එම බට හෝ ළිප පුපුරා යනවා. සමහර නිවෙස් වල රාත්‍රී කාලයේ ගිනිගැනීම් නැතිව ගෑස් පිපිරීම් සිදුවුනේ මේ නිසා වියහැකියි. ” කියා ඈ කියන්නීය.

 

මීට අමතරව සමහර ස්ථාවනල ගෑස් ටැංකිවල පීඩනය වැඩි වීම නිසා ගිනි ගැනීම් අවස්ථාද කිහිපයක්ම වාර්තා විය. ඊට බලපා ඇත්තේද කලින් කී ක්‍රමවේදයේම සුළු වෙනසකි. එනම්, ගෑස් ටැංකියේ සංයුතිය වෙනස් කිරීමත් සමග ටැංකියට ලැබෙන පීඩනය වැඩි වන්නේය. එවිට නිවසේ භාවිත කරන රේගියුලේටරය ගෑස් ටැංකියේ වෑල් එකට නිසියාකාරව සවි වී නැති නම් හෝ එහි දුර්වල නිසා වායුව පිටතට කාන්දු වන්නේය. එවිට අප ගෑස් ළිප හෝ විදුලි බල්බය දැල්වීමට යාමේදී විදුලි පුලිඟුව හෝ ගිනි පුලිඟුව නිසා ක්ෂණික ගිනි ගැනීමක් ඇතිවිය හැකිය.

මෙසේ ගෑස් ටැංකි ආශ‍්‍රිත ගිනි ගැනීම්, පුපුරායෑම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කෙරුණි. එම කමිටුවට අනුව බොහෝ ගෑස් අනතුරු සිදුව ඇත්තේ ගෑස් පීඩනය වෙනස්වීම සහ ගෑස් කාන්දූ වීම් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් නොවීම නිසාය. එසේම ගෑස් කාන්දුවීම් දැනගත හැකිවන පරිදි, සාමාන්‍යයෙන් එකතු කරන එතිල් මර්කප්ටන් (ehyl mercaptan) රසායන ද්‍රව්‍යය ද නියමිත සාන්ද්‍රණයෙන් නොතිබීම නිසා මහජනතාවට ගෑස් කාන්දු වීම් පිළිබඳව කලින් දැන ගැනීමට නොහැකි වීම බොහෝ අනතුරුවලට හේතුවන්නට ඇති බව ඇය කියන්නීය.

“අපි නිදහසටත් පෙර ඉඳලම තමයි ගෑස් භාවිත කරන්නේ. වෙනදත් මෙවැනි ගෑස් කාන්දු වීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙලා තියෙනවා. එදා දකින්න තියෙන විදිහට නෙවෙයි. වර්තමානයේදී ගත්තම රැල්ලක් විදිහට ගෑස් කාන්දු වීම් ගිනි ගැනීම් සහ පිපිරීම් වාර්තා වෙනවා. ඒකෙදී අපි ඇත්තටම ගෑස් ටැංකියේ පීඩනය බාර් හයක් කිවුවට ගෑස් ටැංකිය අව්වට නිරාවරණය වුණොත් අව්රශ්මියත් එක්ක මෙහි පීඩනය බාර් නවයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. මෙය තීරණය වෙන්නේ අපි භාවිත කරන කුස්සිය අනුවයි. සාමාන්‍යයෙන් හතර පැත්තෙන්ම සීල් නොවූ රස්නය රැදෙන්නේ නැති වාතයට නිරාවරණය වෙන ස්ථානයක තමයි අපි හැම වෙලාවේම ගෑස් ටැංකිය තියන්න ඕනේ. අනික ගෑස් ටැංකියේ රේගියුලේටරය දුර්වල වුණොත් ඒ කියන්නේ කලින් බාර් හයක් දක්වා පීඩනයකට ඔරොත්තු දෙන එකක් දැන් පීඩනය වැඩි උනොතේ, ඊට එය දරා ගන්න බැරි වෙනවා. හරියට ජලාශයක තියෙන වාන් දොරටුවක් වාගේ. වතුර වැඩි වෙන්න වැඩි වෙන්න ජලාශයේ වාන් දොරටුවලට එය දාරා ගන්න අමාරු වෙනවා. ඒ වගේ දෙයක් තමයි අද ගෑස් ටැංකිවලට වෙලා තියෙන්නේ. “ කියා ඈ කියන්නීය.

ගෑස් කොම්පැණි කාරයින්ගේ මාරක රැවටිල්ල… නිල් මුද්‍රාවට උඩින් රතු මුද්‍රාව ගහලා… ලිප පුපුරයි! - Newswallet.lk

කෙසේවෙතත්, ගෑස් සපයන ආයතන සතුව විශාල වගකීමක් ඇති බව එතුමිය අවධාණය කරන්නීය. එනම්, ගෑස්වල සංයුතිය වෙනස් වීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ පළමු වගකීමයි. එයට හේතුව වන්නේ ඕනෑම ව්‍යාපාරයක් රඳා පවතින්නේ පාරිභෝගිකයන් නිසාය. ඒ නිසා රජයට අයත් ආයතනයක් ලෙස ඔවුන්ට අනෙක් අයට වඩා වැඩි වගකීම් සහ වගවීමක් තිබිය යුතුය.

එමෙන්ම, යම්කිසි රටකින් ගෑස් ආනයනය කරන්නේ නම් එහි සංයුතිය ලංකාවට කෙතරම් දුරකට ගැළපෙනවාද, සංයුතියේ වෙනසක් සිදුවීද කියා අවබෝධයක් ආදාළ සමාගම් සතුව තිබිය යුතු වන්නේය. ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ඕනෑම භාණ්ඩ නැවක් රටකට ඇතුළුවන විට ඒ නැව සතු භාණ්ඩ ගුණාත්මක තත්ත්වයකින් ඇත්දැයි කියා පරීක්ෂා කර බලන්නේය. එය ගෑස් සමාගම්වලටත් පොදු වූ කටයුත්තකි.

සාමාන්‍යයෙන් නැව් සමාගම විසින් දෙන්නේ ගෑස් ටැංකිවල ඇති සංයුතියේ ප්‍රතිශතය නැතිනම් පරාසය සඳහන් පත්‍රිකාවක් පමණි. එත් ඒ භාණ්ඩ වරායෙන් රට තුළට ගෙන එන විට එහි පීඩනය කොපමණදැයි කියා මැන බලන්නට හැකිය. එසේ පීඩනය මැන බැලීමේදී එහි කිසියම් වෙනසක් හෝ ඇති නම් වෙනදා ගෑස් ගෙන්වන පිඩනයට වඩා අද පීඩනය වැඩි නම් ඒ පිළිබඳව ආදාළ සමාගම්වල සිටින තත්ත්ව පාලන නිලධාරීන් විසින් ආදාළ ආයතන ප්‍රධානීන්ව දැනුවත් කළයුතු බව ඈ කියන්නීය. එවිට මේ වෙනස පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඔවුන් සතු වගකීමකි. එය මෙම අනතුරු කලින් වළක්වා ගැනීමට තිබූ හොඳ සන්ධිස්ථානයක් බව ඈ කියන්නීය.

වර්තමානයේදී දේශපාලන වේදිකාවල ගෑස් ටැංකි පිළිබඳ අර්බුදය බොහෝ දෙනෙක්ට හොඳ කටගැස්මක් වී ඇත්තේය. නමුත්, වර්තාමනයේදී කළ යුත්තේ දෙපිල බෙදී චෝදනා කරගන්නවාට වඩා මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි කියා සොයා බැලීම බව ආචාර්ය ඉනෝකා මන්තිලකගේ අදහසයි.

“මේක හරියට පිටරටින් සෙල්ලම් බඩු ගෙනල්ලා විකුණනවා වගේ වැඩක් නෙවෙයි. ඉතාමත් වගකීමක් ඇතුව හොඳම තත්ත්ව සහතික යටතේ කළයුතු ව්‍යාපාරයක්. ඒ නිසාම ඔවුන්ගේ භාණ්ඩ පිළිබඳව පර්‌යේෂණ සහ නිරීක්ෂණය යන කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔවුන් ගෙන්නන ගෑස් නියමිත පරාසය තුළ අපේ රටට ගැළපෙන පිඩනයකින් යුතුව ඇතිදැයි සොයා බැලිය යුතුයි.

සාමාන්‍යයෙන් අපේ පැරණි ප්‍රමිතියේ ගෑස් සංයුතිය සඳහන් කරලා තියෙන්නේ යම්කිසි පරාසයක් හැටියටයි. සමාගම් කිවුවොත් අපි ගෙන්නලා තියෙන්නේ ඒ පරාසයට කියලා අපිට එයාලට විරුද්ධව නීතිමය පියවර ගන්න බැහැ. මොකද පරාසය තියෙන්නේ තිහත් හැත්තෑවක් අතර පරාසයකට නම් ඔවුන්ට පුළුවන් ඒ පරාසයේම ඉඳලා සංයුතිය වෙනස් කරන්න. එය නීති විරෝධී නැහැ. එත් දැනුවත් කිරීමකින් තොරව නොසැලකිලිමත්ව ඒ දේ සිදුකළොත් ඉන් ජන ජීවිතවලට දරුණු බලපෑම් ඇතිවිය හැකියි.” ලෙස ඈ කියන්නීය.

කෙසේ වෙතත්, මේ ගෑස් සංයුතීන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇත්තේය. එය ලංකාවේ අපට අවශ්‍ය ආකාරයට වෙනස් කළ නොහැකිය. ඒ අප ඔවුන්ගේ කුඩාම පාරිභෝගික කණ්ඩායමක් වන නිසාය. එනිසා එය ප්‍රායෝගික නොවන්නේය.

අනෙක් අතට බොහෝ දෙනෙක් පැවසූ කාරණයක් වන්නේ බියුටෙන්වලට වඩා ප්‍රොපෙන් ලාබදායක බවයි. නමුත්, එය වැරදි අර්ථ කථනයකි. ප්‍රෝපෙන් හි ඩොලර් වටිනාකම බියුටෙන් වලට වඩා අඩු උනත් ප්‍රොපේන් දහනයෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ.

“ඒ වගේම සමහර රටවල ඔවුන්ගේ දේශගුණයට ගැළපෙන ආකාරයට ගෑස් හි සංයුතීන් වෙනස් කරන්නේය. උදාහරණයක් ලෙස උතුරු අර්ධ ගෝලයේ රටවල සැප්තැම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් කියන්නේ සීත සෘතුව පටන් ගන්න කාලේ. ඔවුන්ගේ රටේ උෂ්ණත්වයට ගැළපෙන විදිහට එයාලා සීත කාලයේදී ගෑස්වල ප්‍රොපෙන් වැඩි කර බියුටෙන් ප්‍රමාණය අඩුකරලා ප්‍රයෝජනයට ගන්නවා. එහෙම කරන්නේ ප්‍රොපෙන්වල තියෙන ගුණාංග සීත කාලයට සුදුසු නිසයි. ඒ වගේම ඔවුන් උණුසුම් කාලයට බියුටෙන් සංයුතිය වැඩි කරලා තමයි පාවිච්චි කරන්නේ. ඒ විදිහට ආපු දෙයක් වෙන්නත් පුළුවන්. එත් වරද තියෙන්නේ මහජනතාවට මේ සම්බන්ධයෙන් පෙර දැනුම් දීමක් සිදුනොකිරීම ගැනයි.” කියා ඈ කියන්නීය.

“අනික අපිත් රෙගියුලේටර් එකක් කඩෙන් ගන්නවා නම් පාරිභෝගිකත් ව දැනුවත් වෙන්න ඕනේ ගෑස් ටැංකියේ පිඩනයට මෙය කෙතරම් දුරකට ඔරොත්තු දෙනවාද කියන කාරණය ගැන. ඒ නිසා මේ සිදුවුණු සිදුවීම අපි ආදර්ශයකට අරගෙන පෙරටත් වඩා අවදියෙන් ඉන්න ඕනේ. වෙනදා කඩේකට ගිහිල්ලා කෑමක් බීමක් ගන්නකොට එකේ ලේබලේ බලලා කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදන දිනය බලන අපිට අද සිදුවෙනවා ගෑස් ටැංකියේ බරෙන් හෝ ගාණෙන් නොව එය ඔරොත්තු දෙන පිඩනයට අනුව රේගියුලේටර් මිලදී ගන්න. ඒ වගේම ගෑස් සමාගම්වලට වගකීමක් තියෙනවා පාරිභෝගිකයෝ කුමන වර්ගයේ රේගියුලේටර් මිලදී ගත යුතුද ගෑස් ටැංකියේ පීඩනය සහ සංයුතිය ඊට ගැළපෙනවාද කියලා ඔවුන්ව දැනුවත් කරන්න.” කියා වැඩිදුරටත් ඈ කියන්නීය.

(Aruna)