Wednesday, May 13, 2026
Follow Us
බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සොයා බැලීමේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ආපදා තත්ත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත්, පුද්ගලයන් 90,667ක් පීඩාවට පත් වූ අතර වතු නිවාස 77කට සහ ග්‍රාමීය නිවාස 507කට පූර්ණ හානි සිදු විය. අධි අවදානම් නිවාස ලෙස වතු නිවාස 1376කුත්, ග්‍රාමීය නිවාස 1474කුත් හඳුනාගෙන තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ නැවත පදිංචිකළ යුතු මුළු පවුල් සංඛ්‍යාව 3434කි. එම ජනතාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන්ව කරුණු විමසීය.

නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එම ඉඩම් ලබාදීම පිළිබඳ ආයතන අතර එකඟතාව ඇතිකර ගැනීමත් සමඟම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වාර්තා සහ සැලසුම්වලින් ඔබ්බට ගොස් නිවාස අහිමි වූ ජනතාව තුළ නව නිවසක හිමිකාරීත්වය පිළිබඳ අපේක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

නැවත පදිංචි කිරීමේදී වෙනත් ඉඩමකට යාම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවන්නන්ට තීරණයක් ගැනීම සඳහා උපරිම ජුනි 15 දක්වා කාලය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට දීමනා ගෙවීමේ ප්‍රගතිය, ජිවනෝපාය අහිමි වීම සඳහා වන්දි ගෙවීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි ගෙවීම්, නිවාස කුලී ගෙවීම සහ ජීවිත හානි සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතියද ජනාධිපතිවරයා මෙහිදී වෙන් වෙන්ව විමසා බැලීය.

කුඹුරු ඉඩම්වලට හා වගා ඉඩම්වලට දිට්වා ආපදා තත්ත්වය මත එක් රැස් වූ වැලි හා ගල් ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඒ වෙනුවෙන් අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ගොවි සංවිධානවල දායකත්වය ලබා ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමටත් තීරණය කෙරිණි.

දිට්වාවලින් හානි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර හානි සිදු වූ, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 21හි වැඩ මේ වසරේ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම පළාත් මාර්ග සංවර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව විමසු ජනාධිපතිවරයා එම සියලු මාර්ග සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඇස්තමේන්තු සකස් කර එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී කිසිසේත් මුදල් බාධාවක් කර නොගන්නා ලෙසත්, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් මේ වසර තුළදී යථා තත්ත්වයට පත්වෙමින්, ලබන වසරේ සිට බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන වැඩපිළිවෙළ යළි ඇරඹීමට සූදානම් වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපති ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ,තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, රවින්ද්‍ර බණ්ඩාර යන මහත්වරුද බදුල්ල සහ බණ්ඩාරවෙල මහ නගර සභාවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයෝ සහ ඌව පළාත් ප්‍රධාන ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ රජ්‍ය නිලධාරීහු, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.