විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරුස් ජනරජයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම සංචාරය සිදු වන්නේ මැක්සිම් රයිෂෙන්කොව් මහතාගේ විශේෂ ආරාධනයකට අනුවය
පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 25ක් සම්පූර්ණ වීමත් සමඟ මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව අමාත්‍යාංශය පවසයි.
මින්ස්ක් නගරයේදී අමාත්‍ය විජිත හේරත් මහතා, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමු වීමට නියමිත අතර, බෙලරුස් විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබේ.එමෙන්ම බෙලරුස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, සංචාරය අතරතුර දෙරට අතර අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළඳ හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරෙනු ඇත.
තවද මින්ස්ක් හිදී බෙලරුස් ජාතික අපනයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ව්‍යාපාරික සහ සංචාරක වටමේස සාකච්ඡාවක් ඇමතීමටද අමාත්‍යවරයා නියමිත අතර, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් හමුවීමටද කටයුතු යොදා ඇත.