Tuesday, May 12, 2026
Follow Us
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් වැටලීම් අඛන්ඩව ඉදිරියට

පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්, පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරු මහතුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සකස් කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම ක්‍රියාවලියේ තවත් එක් පියවරක් අද (12) පෙරවරුවේ කඩවත බස් නැවතුම්පොළදී ක්‍රියාත්මක කෙරිණි.

මෙම අහඹු පරීක්ෂණ වෙනුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගී වූ අතර, එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ මෙම පරීක්ෂණ සිදු කෙරිණි.

මෙම පරීක්ෂණ සඳහා කඩවත බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් 148 දෙනෙකු පමණ යොමු කර තිබූ අතර, ඉන් 07 දෙනෙකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු විය.

පසුගිය කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු සහ මාර්ග විනය පිරිහීමට බලපා තිබෙන හේතු සාධක සැලකිල්ලට ගනිමින්, අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර, විනයගරුක රියදුරු පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව බව වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා අවධාරණය කළේය.

තවද, ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ජංගම බස් රථයක් ද සූදානම් කර ඇති බවත්, මගීන්, පදිකයන් මෙන්ම රියදුරන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම, මෙම පරීක්ෂණ තුළින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනාගතහොත්, ඔවුන්ට ආයතනික නීති පද්ධතිය යටතේ උපරිම දඩුවම් ලබාදීමටත්, රටේ පොදු නීතිය යටතේ ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු සූදානම් කර තිබේ.