Tuesday, September 01, 2026
Follow Us
 හෝමාගම, පිටිපන,  “තාක්ෂණික නගර ව්‍යාපෘතිය” මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමට දේශීය අරමුදල්
හෝමාගම, පිටිපන, මාහේනවත්ත “තාක්ෂණික නගර ව්යාපෘතිය” සඳහා මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉතිරි මාර්ග ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීමට තීරණය කරයි.
නවෝත්පාදනය හා දැනුම කේන්ද්ර කර ගත් තාක්ෂණය මත පදනම්ව රටේ ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් ලබා දීමේ අරමුණින් හෝමාගම, පිටිපන, මාහේනවත්ත 'තාක්ෂණික නගර ව්යාපෘතිය' ආරම්භ කරනු ලැබ තිබේ.
හෝමාගම නගරයේ මාර්ග තදබදය වළක්වාලමින් තාක්ෂණ නගරය සඳහා ඍජු ප්රවේශය ලබා දීමේ අරමුණින් හෝමාගම, වලව්වත්ත සිට කටුවාන හරහා බටහිර අතුරු මාර්ගය ඉදි කිරීම 2020 වර්ෂයේදී ආරම්භ කර ඇත.
එම මාර්ගය හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ කිරීම පිණිස මීටර් 50ක් පමණ වන මාර්ග කොටස ඉදිකිරීමට ඉතිරිව තිබේ.
එමෙන්ම, ශ්රී ලංකා හරිත සරසවියේ සිට ශ්රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා වූ ප්රවේශ මාර්ගය මඟින් පිටිපන, දාම්පේ මාර්ගය තාක්ෂණ නගරයේ අභ්යන්තරය හරහා කොට්ටාව‑තලගල මාර්ගය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.
එම මාර්ගයේ මීටර 650ක පමණ කොටසක් තවදුරටත් ඉදිකිරීමට ඉතිරිව තිබේ.
 
ඒ අනුව, බටහිර අතුරු මාර්ගය (හෝමාගම, වලව්වත්ත සිට කටුවාන දක්වා වූ) හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ කිරීමේ මාර්ග කොටස සහ ශ්රී ලංකා හරිත සරසවියේ සිට ශ්රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා වූ මාර්ගයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීම පිණිස ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යවරය ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.