Tuesday, September 01, 2026
Follow Us
විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ආයතන ආකෘතිය යටතේ ප්‍රතිසංවිධාන කෙරේ
විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ආයතන ආකෘතිය යටතේ ප්‍රතිසංවිධාන කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
 
විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ මඟින් බිහි වූ නවෝත්පාදන, ග්‍රාමීය මට්ටමේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ප්‍රවේශ කරවීම මඟින් ජාතික විද්‍යාත්මක ධාරිතාව සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය අතර පවතින පරතරය අවම කිරීම සඳහා විදාතා වැඩසටහන 2005 වසරේදී ආරම්භ කරනු ලැබ තිබේ.

මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 315ක විදාතා සම්පත් මධ්‍යස්ථාන පිහිටුවා ඇත. වත්මන් විදාතා මෙහෙයුම් ආකෘතිය, ව්‍යුහාත්මක ලෙස නම්‍යශීලී නොවන මට්ටමක පවතින බැවින් සහ යාවත්කාලීන නොවුණු කුසලතා සහ සම්මත වැඩසටහන් මත පදනම් වී තිබෙන බැවින්, සීග්‍රයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අවදානම් සහගත තත්ත්ව සහ නූතන තාක්ෂණික දියුණුව සමඟ අනුගත වීමට අපොහොසත් වී තිබේ.

එබැවින්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315ම ආවරණය වන පරිදි 2026‑2030 උපායමාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-11-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ යටතේ, විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ඒකකය, සේවා සහ ආධාරක හා බුද්ධිමය දේපළ ඒකකය සහ තත්ත්ව හා ප්‍රමිති ඒකකය ලෙස එකිනෙකට සම්බන්ධිත විශේෂිත ඒකක තුනක් යටතේ සෑම විදාතා සම්පත් මධ්‍යස්ථානයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.