Saturday, August 08, 2026
Follow Us
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණ ක්ෂේත්‍රයට අදාළ විධිවිධාන කිහිපයක් සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් සංශෝධනය කිරීම එහි ප්‍රධාන කරුණක් වේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙසත් නියම කිරීමට යෝජනා කර ඇත.

එමෙන්ම අගවිනිසුරුවරයාගේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන්ද විශේෂ විධිවිධානයක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ.

ඒ අනුව අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය වන්නේ, ඔහු වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත්වූ දිනයේ සිට වසර 6ක සේවා කාලයක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් පෙර එළැඹෙන දිනය බව සඳහන් වේ.

ගැසට් කර ඇති මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.