Saturday, February 07, 2026
Follow Us
කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම ගැන සාකච්ඡාවක් 

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ විදුලිය කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සමග අද (24) පැවැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. 

ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක ගල් අඟුරු මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් නෞකා 2ක් මෙම මස ලබා ගැනීමට බලාපොරොත්තු වේ. 

ඒ අනුව මේ වන විට ගල් අඟුරු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබා ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල් අඟුරු නෞකා 33ක් ලබා ගත යුතුව ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම පෙබරවාරි මස ගල් අඟුරු නෞකා 7ක්, මාර්තු මස නෞකා 7ක් සහ අප්‍රේල් මස නෞකා 7ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇත. 

ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇත. එමෙන්ම බැංකුවලින් ඉල්ලීම් කර ඇති මුදල් ලබා ගැනීමේ හැකියාව මත ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව සහ විදුලිය අවම කප්පාදුවකින් ලබා දීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය දන්වා සිටි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.