Friday, September 25, 2026
Follow Us
ආපදාවට පත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවේ සිටි 25ක් නාවික හමුදා සහයෙන් ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපයේදී පෙරළී ආපදාවට පත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි ඉන්දුනීසියානු ජාතිකයින් 25 දෙනෙකු මුදාගෙන කොළඹ වරාය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේය.
‘GARUDA JAYA VI’ නමැති එම ඉන්දුනීසියානු ධීවර යාත්‍රාව පසුගියදා(22) මුහුදේ පෙරළී යාමෙන් එහි සිටි පිරිස ආපදාවට පත්ව ඇති අතර, ඔවුන් අතරින් 25 දෙනෙකු MV ‘MOONSTONE’ නෞකාව මඟින් මුදාගැනීම සිදු විය.
 
එම පිරිස භාරදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව, නාවික හමුදා යාත්‍රා දෙකක් එම පිරිස රැගෙන ඒම සඳහා යොමු කර තිබේ.
 
ඒ අනුව, MV ‘MOONSTONE’ නෞකාව මඟින් මුදාගත් ඉන්දුනීසියානු ජාතිකයින් 25 දෙනාගෙන් පිරිසක් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කොළඹ වරාය වෙත රැගෙනවිත්, ඔවුන්ට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වෙත යොමු කෙරෙනු ඇත.