පාරිභෝගිකයාට සහන සැලසීමට රජය කරන්න යන දේ
රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාරසේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ( 04 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති රජයේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි වැඩසටහන් විෂයය කොට ගත්, ” ආර්ථිකය අද සහ හෙට : ඇත්ත ඇති සැටියෙන් “මාධ්‍ය සංවාද මාලාවේ දෙවැන්නට එක්වෙමිනි.
මෙතෙක් පාරිභෝගික අධිකාරිය භාණ්ඩවල මිල පාලනයක් නොකළ අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වනබව අමාත්‍යවරයා කීය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම නිසා භාණ්ඩ වලට උපරිම මිලක් නියම කිරීමට නොහැකිවිය.ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.
පවත්නා අර්බුදකාරී වාතාවරණය තුල සහල් මිල ඉහළ යාම වැලැක්වීමට නව ගැසට් පත්‍රයක් මගින් උපරිම මිලක් නියම කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම උපරිම මිල දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සහල් සඳහා පමණක් නියම කර තිබේ.
වී අලෙවි මණ්ඩලය විසින් විශේෂ සහනදායී මිලට සපයන සහල් සඳහා උපරිම මිල බල නොපාන බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේය.
2015 ට පසු වී අලෙවි මණ්ඩලය එකතුකරගත් ඉහළම අරාක්ෂිත වී තොගය වන මෙට්‍රික් ටොන් 70,000 කට අධික ප්‍රමාණයක් මෙම වසර තුල ලබාගෙන තිබේ.
එම වී උත්සව සමය ඉලක්ක කර ගනිමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සතොස,සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් වෙත රු.140 ක මිලකට සැපයේ.අප්‍රේල් මස මුල සිට රුපියල් 145ක මිලකට සතොස, සමූපකාර ජාල වෙතින් සහල් මිලදී ගැනීමට පිළිවන.
(Aruna)