පවතින භූමිතෙල් හිගය තවත් දින කිහිපයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේවනවිට බොරතෙල් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර එය ලබන සතිය තුළ නිදහස් කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
එම බොරතෙල් තොගය නිදහස් කර ගැනීමෙන් පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත අතර ඒ සමගම භූමිතෙල් හිගය මගහැරෙනු ඇති බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. පවතින මිල යටතේ භූමිතෙල් ආනයනය කර පාරිභෝගික ජනතාවට ලබාදීමේදී භූමිතෙල් ලීටරයකින් රුපියල් 200 ක පමණ පාඩුවක් දැරීමට සිදුව ඇති බව ද එම සංස්ථාව පැවසුවා.
මේ අතර භූමිතෙල් ඉල්ලා කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ විරෝධතාවක නිරත වී තිබෙනවා.
දින කිහිපයකට පසු කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ පස්වරුවේ භූමිතෙල් තොග ලැබී තිබුණා. ඒ අනුව භූමිතෙල් මිලදී ගැනීම සඳහා අද අලුයම වනවිටත් එම ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝළිම් පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් එම ඉන්ධන පිරවුම්හලට ලැබී තිබුණේ භූමිතෙල් ලීටර 6600 ක් පමණයි.
ඒ හේතුවෙන් එක් පාරිභෝගිකයෙකුට රුපියල් 500 ක වටිනාකමට පමණක් භූමිතෙල් නිකුත් කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එලෙස විරෝධතාවක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)