යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.
යුද්ධ හමුදාව ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට සූදානම් වන බවටත්, පහරදීමකට පෙර පුහුණුව ලබමින් සිටින බවටත් ඇතැම් පාර්ශව සිදුකර ඇති ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් බවයි නිවේදනයක් නිකුත් කරමින් යුධ හමුදාව පෙන්වා දෙන්නේ. කිසිදු යුද්ධ හමුදා සාමාජිකයෙකු එවැනි ක්‍රියාකාරකමක් වෙනුවෙන් සම්බන්ධ වී නොමැති අතර මෙවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ඒවා බවද යුධ හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
හමුදා සාමාජිකයන් සාමකාමී විරෝධතාකරුවන් හෝ එකී සංවිධාන සමඟ කිනම් හෝ මැදිහත්වීමකින් තොරව සිය රාජකාරීවල නිරතව සිටිනුයේ රාජ්‍ය සහ මහජන ආරක්ෂාව සඳහා වන අතර මෙම භටපිරිස් සිය ජීවිත පරදුවට තබා අප්‍රමාණ කැපකිරීම් කරමින් රටට සාමය ලබාදුන් සාමාජිකයන් වන බව ද සිහිපත් කළ යුතු බව එම නිවේදනයේ සදහන්.
යුද්ධ හමුදාව අපකීර්තියට පත්කිරීම අරභයා ප්‍රචලිත කරනු ලබන මෙම සූක්ෂම උත්සාහයන්ට නොරැවටෙන ලෙසත් අතීතයේදී යුද්ධ හමුදාව කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් රකිනා ලෙසත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
(Neth)