Saturday, February 14, 2026
Follow Us
ඉන්ධන සීමා කිරීම රජයේ වාහනවලටත් අදාල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියයි

පවතින තත්ත්වය අනුව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන භාවිතයේදී සහය අපේක්ෂා කරන්නේ නම් ඊට සහයෝගය ලබාදීම රාජ්‍ය අංශයේද වගකීමක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පවසනවා.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට රාජ්‍ය අංශය ද මුහුණදිය යුතු බැවින් ඉන්ධන සැපයීම සීමා කිරීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව ගත් තීරණය රාජ්‍ය අංශයට ද අදාළ බවයි ලේකම්වරයා පැවසුවේ. රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආයතනවලට අයත් රථවාහන භාවිත කිරීමේදී නිසි කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන ලෙස දන්වා මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කළ බව ද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන නිකුත් කිරීමේ දී අත්‍යවශ්‍ය සේවාවල නිරත වෛද්‍යවරුන් ඇතුළු විශේෂ සේවාවල නිරත පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

පාරිභෝගිකයින් වෙත ඉන්ධන නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීමටත්, ඒ සඳහා වැයවන කාලය අවම කර ගැනීමටත් ඉදිරි සති 02 ක කාලය සදහා ඉන්ධන නිකුත් කිරීම සීමා කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ඒ අනුව යතුරුපැදි සඳහා පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් 1000 ක උපරිම වටිනාකමකට යටත්වයි. ත්‍රීරෝද රථ සඳහා උපරිමය රුපියල් 1500 ක් දක්වා ඉන්ධන නිකුත් කෙරෙනවා. මෝටර් රථ, වෑන් සහ ජීප්රථ සඳහා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ උපරිමය රුපියල් 5000 ක වටිනාකමකටයි.

කෙසේවෙතත් බස්රථ, ලොරිරථ සහ අනෙකුත් වාණිජමය කටයුතු සඳහා භාවිත කරන ඩීසල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී එම සීමාවන් බලනොපැවැත්වෙන බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)