අද දිනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එමෙන්ම දිවයිනේ පිරවුම් හල් කිහිපයක් විවෘත කර තැබීමට උපදෙස් දුන් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ ප්‍රකාශකයකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කලා. එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන දිවයිනේ සියලු ප්‍රදේශ වෙත ලබාදීමට ඉදිරි දින දෙක තුළ දී කටයුතු කරන බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුනා.
ඊයේ රාත්‍රිය වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වර්තාකරුවන් පැවසුවේ.
මේ අතර නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනය වනවිට වැටලීම් 67 ක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවා. එහිදී පෙට්‍රල් ලීටර් 5,690 ක්, ඩීසල් ලීටර් 10,115 ක් සහ භූමිතෙල් ලීටර් 5,620 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)