Saturday, February 14, 2026
Follow Us
ආනයන සීමාව දීර්ඝ කෙරේ

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය මෙන්න


අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය තවදුරටත් දිර්ඝ කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බවයි.

පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ආහාර වර්ග, විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා එම සීමාවන් පනවා ඇති බව සඳහන්ය.

ඒ අනුව ආහාර වර්ග යටතේ ඇපල්, බටර්, රටඉඳි, දොඩම්, මුදවපු කිරි, යෝගට්, ඕට්ස්, චොකලට්, කෝන්ෆ්ලෙක්ස් සහ පැස්ටා ආනයනය තහනම් වනු ඇත.

වතුර බෝතල්, බීර වර්ග, විදෙස් මත්පැන් සහ දුම්වැටි වර්ග මෙන්ම සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ සහ රැවුල කැපීමට ගන්නා විද්‍යුත් උපකරණ සඳහා මෙම සීමාවන් ක්‍රියාත්මක වේ.

මීට අමතරව වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර් සහ කෝපි හා තේ සෑදීමට ගන්නා නිවාස තුළ භාවිත කරන විද්‍යුත් උපකරණ සඳහා ද එම සීමා පැනවේ.

රූපවාහිනි යන්ත්‍ර, ඩිජිටල් හා වීඩියෝ කැමරා මෙන්ම තෝරාගත් සංගීත භාණ්ඩ සඳහා ද මෙම සීමාවන් ක්‍රියාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

(Aruna)