අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා සංශෝධනය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යෝජනා කර තිබෙනවා. ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සමග ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළ බවයි එම මන්ත්‍රීවරුන් පැවසුවේ.
ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව ඉකුත්දා කරුණු එකොළහකින් සමන්විත විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කළා. එහි අඩංගු කරුණු පිළිබද සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි. එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පමණක් ආණ්ඩුව වෙනුවෙන් සහභාගි වී තිබෙනවා.
අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා ඉදිරිපත් කෙරුණු යෝජනාවන් එකිනෙක සාකච්ඡා කළ ජනාධිපතිවරයා සිය ස්ථාවරය එහිදී පැහැදිලි කර ඇති බවයි වාර්තා වුණේ. ඉන් අනතුරුව අදහස් පළ කළ ස්වාධීන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිය කණ්ඩායම සාකච්ඡා කර අවසන් තීරණය ඉදිරියේදී දැනුම් දෙන බවයි.
කෙසේවෙතත් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සහ අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් මෙහිදී කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව ඊට එක් වූ පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පැවසුවේ.
කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ ඊයේ රාත්‍රි 7 ට ආරම්භ වූ සාකච්ඡාව පැය දෙකක කාලයක් පවත්වා තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපති මන්දිරයෙන් පිටතට පැමිණීමෙන් පසු එම සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
(Neth)