Saturday, February 14, 2026
Follow Us
ප්‍රභූන් ගැවසෙන කොළඹ ස්ථාන 04 ක ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු යටතට

මතුව ඇති තත්ත්වයන් යටත් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ප්‍රියන්ත වීරසූරිය, පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත් කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බව ද වාර්තා වුණා. එහිදී පළමුව යෝජනා වී ඇත්තේ එම වගකීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත පැවරීමටයි.

එම කටයුතු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලෙස එහිදී පොලිස්පතිවරයා විසින් යෝජනා කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර ඇත්තේ අදාළ වගකීම තමන්ට ඍජුව පවරන්නේ නම් එය ඉටුකළ හැකි බවයි. එහෙත්, වෙනත් අයෙකුගේ උපදෙස් අනුව තමන්ට ක්‍රියාකළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැවරීමට එහිදී තීරණය වී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාර්යය සඳහා තමන්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ලබාදෙන ලෙසයි. ඒ සඳහා ද එම සාකච්ඡාවේදී අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත පැවරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

(Neth)