2021 උසස්පෙළ විභාගයේ නර්තන සහ සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට අප්‍රේල් මස 08 වනදා දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනු ඇති. ඒ සඳහා අයදුම්කරුවන් 13,758 දෙනෙකු පෙනී සිටී්මට නියමිතයි. ඛාණ්ඩ 05 ක් යටතේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල 136 ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විභාග අපේක්ෂකයින් සිය ප්‍රවේශපත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේදීම ප්‍රායෝගක පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙතෙක් විභාග ප්‍රවේශපත්‍ර ලැබී නොමැති අපේක්ෂකයින් සිටී නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස සිය ප්‍රවේශපත්‍ර බාගත කරගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර අනෙකුත් විෂයන් සඳහා ප්‍රායෝගක පරීක්ෂණ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව නාට්‍ය හා රංගකලාව සිංහල හා දෙමළ, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයන් සඳහා එලෙස අවුරුදු නිවාඩුවෙන් පසුව ප්‍රායෝගික පරීක්ෂණ පවැත්වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් යම් විමසීක් සිදුකිරීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
(Neth)