Sunday, February 15, 2026
Follow Us
ලංකා IOC තෙල් මිල වැඩි කළාට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ

ගිවිසුම් වලට අනුව ඉන්ධන මිල ඉහළ දාන්න පුළුවන්


අයි ඕ සී සමාගම නැවත වරක් ඉන්ධන මිල වැඩි කළ ද, එම සමාගමට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට එළඹීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

මුදල් අමාත්‍යාංශය සමග 2006 වසරේ අයි ඕ සී සමාගම අත්සන් කළ එකඟතා ගිවිසුමකට අනුව එම සමාගමට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමේ හැකියාව පවතින බව ඔහු අරුණ කළ විමසුමකදී පවසා සිටියේය.

කෙසේ නමුත් අයි ඕ සී සමාගම මිල ඉහළ දැමුවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල කිසිදු ලෙසකින් නැවතත් ඉහළ දැමීමේ සුදානමක් නොමැති බව එම සංස්ථාව නිවේදනය කළේය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල ඉහළ දැමුවේ ලීටරයක් රුපියල් 49 කිනි.
ඒ අනුව එම සමාගමට අයත් පිරවුම්හල් මගින් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 332 ක් දක්වාත් ඉහළ ගියේය.

වරාය ගාස්තු, ණය පොලිය, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන්, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, බෙදාහැරීම් නියෝජිතයන්ගේ ගාස්තු, ඩොලරයේ අගය සහ ලාභය යන කරුණු අනුව අයි ඕ සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරනු ලැබූවද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් තීරණය කරනු ලබන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමෙනි.

(Aruna)