දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේදිනවල මිලිමීටර 100 ක පමණ වැසි ඇතිවුවද මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මාර්තු සහ අප්‍රේල් මාසවලදී ජල පෝෂක ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
ඉදිරි සතියේදී ක්‍රමයෙන් අන්තර් මෝසම් තත්ත්වය වර්ධනය වෙතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. එහෙත් ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් අපේක්ෂා කළ හැක්කේ මැයි මාසයේදී පමණ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර අද දිනයේත් කලාප අනුව විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ලැබුණු බවයි එම මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව ඒ, බී, සී, ඩී, ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ සහ එල් කලාපවලට අද උදෑසන 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
ඊට අමතරව එම කාලපවලට අද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා
මේ අතර අද දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව් යන කලාප සඳහා ද උදෑසන 09 සිට පස්වරු 05 දක්වා පැය 02 යි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. ඊට අමතරව එම කලාපවලට පස්වරු 05 සිට රාත්‍රී 10 යි 30 දක්වා ද පැයයි විනාඩි 50 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)