විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි
සෑම විදුලි ඒකකයකින්ම රුපියල් දහතුනක පාඩුවක් සිදුවන බැවින් විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලැබුණු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ‘සති අග අරුණ’ ට කියා සිටියේය. එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව සභාපතිවරයා කීවේය.
ඒ අනුව ඒකක තිහක් දක්වා වූ විදුලි පාරිභෝගිකයකුට මෙතෙක් කල් විදුලි ඒකකයක් ලබාදුන්නේ රුපියල් දෙකයි ශත පනහකටය. ඒ සඳහා ස්ථාවර ගාස්තු ලෙස රුපියල් තිහක් අයකරන ලදී. නව යෝජනාවලියට අනුව ඒකකය රුපියල් පහයි ශත පනහ දක්වා වැඩිවන අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 290 දක්වා වැඩි වෙයි. ඒ අනුව ගෘහස්ථ පරිභෝජනයේදී විදුලිය පාවිච්චිය සඳහා කාණ්ඩ හතක් යටතේ ගාස්තු සංශෝධනය කර තිබේ.
රාජ්‍ය ආයතන, කර්මාන්ත, හෝටල්, වෙළෙඳසල් හා ආගමික සිද්ධස්ථාන සඳහා මිල සංශෝධනය සිදුකර ඇත. කර්මාන්ත සඳහා අවම වශයෙන් 38%ක විදුලි බිල වැඩිවීමක්ද, හෝටල් සඳහා 23%ක විදුලි බිල වැඩිවීමක්ද, රාජ්‍ය ආයතන සඳහා 22%ක් වැඩිවීමක්ද අවම වශයෙන් සිදුවන බව එම යෝජනාවලියේ සඳහන් වෙයි. ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල මීට පෙර වැඩිකර ඇත්තේ වසර අටකට පෙරය.
(Aruna)