Sunday, February 15, 2026
Follow Us
මිශ්‍ර ඡන්ද ක්‍රමයකට ජනපති කළ මඟපෙන්වීම මත පත් කළ, කාරක සභාවේ කටයුතු අවසන් අදියරේ - අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතීමේදී විශේෂයෙන් මිශ්‍ර ඡන්ද ක්‍රමයක් සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නැයි මඟපෙන්වීමක් කරමින් ඒ සඳහා යොමු කළ බව, "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතීරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව තමාගේ සභාපතීත්වයෙන් දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කළ බවත්, එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, මැතිවරණ කොමිසම සංවිධාන කළ, "ඡන්ද හිමියන්ගේ දින ජාතික සැමරුමට- 2022" උත්සවයට කොළඹදී එක්වෙමිනි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම උත්සවයට කථානායකවරයා, අමාත්‍යවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, විදේශ තානාපතිවරුන්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන්, මැතිවරණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් ආදි පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ ඡන්ද ක්‍රමය ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ලබාදෙන වැදගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශාල කාලයක් ගතවීම, එවැනි සියලු කාරක සභා අඛණ්ඩව මුහුණ දුන් බරපතළ ප්‍රශ්නයක් බවය. මීට පෙර ඉදිරිපත් වූ, අවුරුදු 18න් ඡන්ද අයිතිය ලබාදීම, ඡන්දයට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම, මිශ්‍ර ඡන්ද ක්‍රමය ආදී යෝජනා ඊට උදාහරණ කිහිපයක් බවද ඔහු පැවසීය.

(news.lk)