අවම ගාස්තුව 20යි!
ඉන්ධන මිල වැඩිවීම සැලකිල්ලට ගෙන බස් ගාස්තුව වැඩි කිරීමට ද ප්‍රවාහන අමාත්‍යාංශයේ ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවේ දී තීරණය කර තිබේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රු. 2ත් 3ත් අතර මුදලකින් ඉහළ යා හැකි බවට මෙහිදී සාකච්ඡා වී ඇත.
අවම ගාස්තුව මෙන් ම සෙසු දුරගමන් ගාස්තු ද වැඩි වීමට අදාළ යෝජනා දෙකක් අද (14 වැනිදා) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මගීන්ට බරපතළ අසාධාරණයක් නොවන බස් හිමියන්ට ද සාධාරණයක් වන ගාස්තු සංශෝධනයක් අද (14 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදුවනු ඇති බවත් ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම පැවසීය.
නව ගාස්තු සංශෝධනය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් මිල සැලකිල්ලට ගෙන සකස් කරන බවත් බස් සංගම්වල එකඟත්වය මත මෙම සංශෝධනය සිදුකරන බවත් ඇමැතිවරයා කීවේය.
ලංකා අයි.ඕ.සී සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 214 ක් දක්වාත්, සිපෙට්කෝ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 176 ක් දක්වාත් ඉහළ ගොස් ඇති පසුබිමක පෞද්ගලික බස් සංගම් බස් ගාස්තු සංශෝධනයක් හෝ ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නැයි රජයට බලකර සිටියි.
මෙම තත්ත්වය මැද ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13 වැනිදා) දහවල් පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා ඇතුළු නිලධාරීහු ද සහභාගී වූහ. බස් ගාස්තු වැඩිකිරීම ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සිදුකළ යුතුව ඇති අතර ඊට අදාළව සකස් කරන ලද යෝජනා දෙකක් මෙහි දී ඇමැතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඉන්ධන සමාගම් දෙකෙහිම එකම වර්ගයේ ඩීසල් වල මිල රුපියල් තිස් අටක පරතරයකින් වෙනස්ව තිබීම මත මධ්‍ය අගයකට අනුව ගාස්තු සංශෝධනයක් සිදුකිරීම හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් මිලට අනුව ගාස්තු වැඩිකිරීමක් සිදුකළ යුතුව තිබෙන බවට මෙහිදී යෝජනා වී තිබිණි
ඇමැතිවරයා සමග ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියේ රාමුවකට යටත්ව මිල සූත්‍රයේ රාමුව මත ගාස්තු සංශෝධනය සිදුකර තිබෙන බවය. ඇමැතිවරයා සමගින් කළ සාකච්ඡාව තෘප්තිමත් බව ද ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් බස් ගාස්තු වැඩි වනතෙක් අද (14 වැනිදා) දිනයේ ද බස් ධාවනය අඩාළ වනු ඇති බව ගැමුණු විජේරත්න කියා සිටියේය. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සඳහන් කළේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව මෙම ජූලි මාසයේ දී ගාස්තු සංශෝධනයක් වනු ඇති බවත් ඉන්ධන මිල මත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිගන්නා බවත් ය. දුරගමන් සේවා බස් රථවල නව ගාස්තු ද වැඩිවන ප්‍රතිශතයට අනුව සකස් කර ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් දැනුම් දෙනු ඇති බවත් හෙතෙම කීවේය.
කෙසේ වෙතත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ අවම බස් ගාස්තුව රුපියල් තිහක් ලෙස වැඩි කළ යුතු බවත් නැතහොත් ඩීසල් සහනාධාරයක් ලබා දිය යුතු බවත් ය.
(Aruna)