මිල ඉහළ දැමුව ද ඩීසල් අලෙවියෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් පාඩු ලැබීමට සිදුවන බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වයන් යටතේ ඩීසල් ලීටරයක මිල රුපියල් 120 කින් වැඩිකළ යුතු වුවත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කෙරුණු සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 55 කින් පමණක් බවයි.
මේ අතර මිල ඉහළ දැමුනද, ඩීසල් ලබාගැනීම සඳහා අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට ලැබුණා. ලංකා ඛණිජතෙල් නිීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ පසුගිය පෙබරවාරි මාසයේදී සහ මෙම ගතවූ කාලසීමාවේදී දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 1000 කින් සහ දෛනික ඩීසල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 2500 කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි.
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 76 කින් වැඩි කෙරුණා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ දැමුණු අතර සුපර් ඩිසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 95 කින්.
ඒ අනුව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් නිකුත් කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 283 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 176 ක්.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 254 ක් දක්වා වැඩි වී තිබෙනවා. කෙසේවෙතත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් මිල ගණන් වෙනස් කර නැහැ.
(NEth)