ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වන සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබන මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.31 ක පහළ අගයක පැවතීමත් සමඟ ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු තීරණාත්මක ආනයන සඳහා ගෙවීම සම්බන්ධයෙන් වන අපහසු තත්ත්වයකට මුහුණ පා සිටියි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස විපක්ෂ දේශපාලඥයින් සහ ආර්ථික විශේෂඥයින් විසින් කරන ලද ඉල්ලීම් නොතකා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ මහ බැංකුවෙන් මාස ගනනාවකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් පැතීමට සුදානම් වී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබන මස මැද භාගයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ, වොෂින්ටන් නුවර බලා යෑමට නියමිත බවයි මේ සම්බන්ධයෙන් වාර්තා වන්නේ.
ජුලි මාසයේදී කල් පිරෙන ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ඇතුළුව මේ වසරේ දී ඩොලර් බිලියන 4 ක පමණ විදේශ ණය ගෙවීමට සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටියත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොලැබූ බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ.
කෙසේ වුවත් ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ජාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් නොවන බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.
(Neth)