අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යංශය ගත් තීිරණය ක්‍රියාවට නැංවීමේ කටයුතු මේවනවිට සකස් කරමින් පවතින බව ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න පවසනවා. එම කටයුතු ක්‍රියාවට නැංවීමේදී ප්‍රායෝගික ගැටළු ද මතුවන බැවින් කිසිඳු පාර්ශවයක් අපහසුතාවට පත් නොවන පරිදි කටයුතු කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි ඇය නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
ඇතැම් ආනයනකරුවන් විසින් මේවනවිටත් ආනයනය සීමා කරන ලද භාණ්ඩ ඇණවුම් කර තිබෙනවා. තවත් පිරිසක් ඇණවුම්කළ භාණ්ඩ සඳහා මුදල් ගෙවා අවසන්. ඇතැම් ආනයනකරුවන්ගේ ආනයනික භාණ්ඩ රැගත් බහාලුම් මේවනවිටත් වරායන් වෙත ලගා වෙමින් පවතිනවා. එවන් තත්ත්වයක් තුළ මෙම ආනයන සීමා කෙසේ ක්‍රියාත්මක කරන්නේදැයි තවදුරටත් සැලසුම් කරමින් සිටින බවයි ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න පැවසුවේ.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කර ඇති මෙවන් අවස්ථාවක එම භාණ්ඩ ඇනවුම්කර මුදල්ගෙවා හෝ දැනටමත් භාණ්ඩ වරායන් වෙත ගෙන්වා ගෙන ඇති ආනයනකරුවන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් පදනම් කර ගනිමින් එම ගැටළුවලට විසඳුම් ගෙන ආ යුතු බව ද ඇය පවසනවා.
එලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා මෙම සීමා පැනවූයේ රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන්. එබැවින් ආනයනකරුවන් මේවනවිටත් ආනයනය කර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වරායන්ගෙන් නිදහස් කර ගැනීමට අවසර දෙන්නේ නම් එලෙස අවසර දීමට හේතු වන කරුණු පිලිබඳ පුළුල් ලෙස සමාලෝචනය කළ යුතු බව ද ආනයන හා අපනයන පාලක ජනරාල්වරිය සඳහන් කළා.
ඒ අනුව සාධාරණ හේතුවක් පවතින්නේ නම් පමණක් ආනයනකරුවන්ට දැනට ඔවුන් විසින් ඇනවුම් කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගෙන්වා ගැනීමට අවසර ලබාදීමට තීරණය කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන මාර්ගෝපදේශ ද මේවනවිටත් සකස් කෙරමින් පවතිනවා.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යංශය ගත් තීිරණය ඊයේ සිට දැඩිව ක්‍රියාත්මක බැවින් අදාළ භාණ්ඩ ලැයිස්තුවට අයත් කිසිඳු භාණ්ඩයක් ආනයනයට ඊයේ සිට අවසර හිමි නොවන බව ද ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න අවධාරණය කළා.
පළතුරු, කිරි ආහාර, චොකලට්, නූඩ්ල්ස් හා පිටි ආහාර, ටයර්, මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදන, ගෘහ උපකරණ, විදුලි උපකරණ වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් මෙරටට ආනයනය කිරීම සීමා කරමින් මුදල් අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඉකුත් 09 වනදායි. කිසියම් හේතුවක් මත එම භාණ්ඩ ආනයනය කෙරෙන්නේ නම් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සහ ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් විශේෂ බලපත්‍ර ලබාගත යුතු වනවා.
(Neth)