අද හෙටම ඖෂධ මිල ඉහළට
මිල පාලනය කර ඇති ඖෂධ වර්ග 75ක මිල ගණන් සිකුරාදා (11 වැනිදා) වන විට වැඩි කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ඒ 5%ක මිල වැඩිවීමකිනි. එහෙත් රුපියල පා කර හැරීම නිසා ඖෂධ මිල 20%කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඊයේ (9 වැනිදා) ඉල්ලා සිටියේය.
මේ අතර රුපියල පා කර හැරීම හේතුවෙන් ඩොලරය ඉහළ යාම නිසා ඖෂධ මිල 20%කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයට ඊයේ (9 වැනිදා) දැනුම් දුන්නේය.
ඒ ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයන් සහ රාජ්‍ය ඇමැති චන්න ජයසුමන අතර පැවැති සාකච්ඡාවකදීය.
ඖෂධ මිල ඉහළ දැමීමේ යෝජනාව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුවට යොමු කර නිර්දේශ ලබාගන්නා බවද රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව ලබන සතිය වන විට විසඳුමක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි කර්මාන්ත මණ්ඩල නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.
ඒ අනුව දිවයින පුරා ෆාමසි සඳහා ඖෂධ නිකුත් කිරීම අද (10 වැනිදා) සිට ආරම්භ කරන බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කළේය.
(Aruna)