Sunday, February 15, 2026
Follow Us
රියැදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී

විදේශ විනිමය හිඟය ලයිසන් එකටත් බලපායි


රියදුරු බලපත් මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා සුහුරු කාඩ්පත් ගෙන්වීමට විදේශ විනිමය නොමැති වීමෙන් ජනවාරි මාසයේ සිට මුද්‍රණය කළ යුතුව තිබෙන රිය බලපත් දෙලක්ෂ අට දහසක් පමණ මුද්‍රණය කරගත නොහැකි වී ඇතැයි මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් අනාවරණය වෙයි.

රිය බලපත්‍් මුද්‍රණය කිරීම සඳහා යොදාගනු ලබන සුහුරු කාඩ්පත් මිලියනයක් ඔස්ට්‍රියාවෙන් ආනයනය කර ඇතත් ඒ සඳහා ගෙවිය යුතු යූරෝ හයලක්ෂ අනූ දහසක (690 000) විදේශ විනිමය මහා භාණ්ඩාගාරයේ නොමැති වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ ප්‍රධානියකු අරුණ කළ විමසුමකදී සඳහන් කළේය.

නව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හා කල්පැන ඇති බලපත් අලුත් කිරීමේ කටයුතු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් සිදුකරන අතර මේ වනවිට උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් යහපත් ප්‍රතිචාරයක් ද ලැබී නැත.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය වැනිදා සිදුව ඇත.

එහිදී ඉල්ලුම්කරුවන් වෙනුවෙන් තාවකාලික රිය බලපත්‍රයක් සකස් කර දීමට සහ කඩිනමින් විදෙස් විනිමය රැස්කර කාඩ්පත් ගෙන්වා ගැනීමට තීරණය කර ඇත. ඊට අමතරව සකස් කර ඇති රියදුරු බලපත් පරීක්ෂා කරන මෘදුකාංගයක් පොලිසිය වෙත කඩිනමින් යොමු කිරීමට ද තීරණය වී තිබේ.

මේ අතර බර වාහන රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් සඳහා සිදුකරන මූත්‍රා පරීක්ෂණ සඳහා ගනු ලබන උපකරණද අවසන් වීමෙන් එම පරීක්ෂණ ද ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.‍

මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේගෙන් අරුණ, කළ විමසුමකදී කියා සිටියේ මෙම උපකරණ ඉදිරි දෙසතිය ඇතුළත ලබාදෙන බවට බලධාරීන් දැනුම්දී තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කළේ මෙම ගැටලුව සඳහා විසදුම් ගැන සාකච්ඡා කර ඉදිරි දින කිහිපයේ දී දැනුම් දෙන බවය.

(Aruna)