Sunday, February 15, 2026
Follow Us
දවස් තුනකට ගෑස් ඇවිත්

ගෑස් ගොඩබෑමට මහ බැංකුව ඩොලර් නිකුත් කරයි


ගෑස් මෙට්‍රික් ටොන් 2500ක තොගයක් ගොඩබෑම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (07) පස්වරුවේ ඩොලර් නිකුත් කර ඇත. මෙම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින තුනකටය.

එම ගෑස් ගොඩ බෑම අද (08 වැනිදා) උදෑසන සිට සිදු කරන අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට පුරවා පස්වරුව වන විට වෙළෙඳ පොළට මුදාහැරීමට හැකි වනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම විශ්වාසය පල කරයි. ඩොලර් නොගෙවීම හේතුවෙන් මෙම ගෑස් නෞකාව සතියකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම්ලා තිබුණි.

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් සහිත නෞකා දෙකක් ද මහ මුහුදේ නැංගුරම්ලා ඇත. එම නෞකාවල ඇති ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය ඩොලර් මෙම සතියේ දී ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ලිට්‍රෝ ගෑස් සමාගමට දැනුම් දී තිබේ.
ඩොලර් නොගෙවීම හේතුවෙන් ගෑස් ආනයන නෞකා මහ මුහුදේ රඳවා තබා ගැනීම නිසා දිනකට ඇමරිකානු ඩොලර් 18000ක ප්‍රමාද ගාස්තුවක්ද ගෙවීමට සිදුව ඇති බව අනාවරණය වේ.

(Aruna)