මෙරටට ලඟා වූ ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන අද දිනයේ බෙදා හැරීම ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම නෞකාවේ ඉන්ධන මුතුරාජවෙල ඛණිජතෙල් තොග ගබඩා සංකීර්ණය වෙත ගොඩබෑම ආරම්භ කෙරුණේ ඊයේ දහවල් 12 සිටයි. එහි තිබෙන ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37,300 ගොඩබෑමට දින 04ක කාලයක් ගතවන බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
කෙසේවෙතත් මෙතෙක් මුතුරාජවෙල ඛණිජතෙල් තොග ගබඩා සංකීර්ණය වෙත ගොඩබෑ ඉන්ධන තොග අද දිනයේ නිකුත් කෙරෙන බවයි එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. ඉන් ඩීසල් මෙටි්‍රක් ටොන් 8,000ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ අතර ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 37,300ක් රැගත් නෞකාවක් අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
සිංගප්පුරුවේ සිට එලෙස පැමිණෙන්නේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 9,000ක් අයත් නෞකාවක් බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එම ඉන්ධන නෞකාවේ සාම්පල් පරීක්ෂා කිරීම අද පස්වරුවේම සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් අසල ඊයේ රාත්‍රීයේද දිගු පෝලිම් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මේ අතර ඉන්ධන නොමැතිවිම ද හේතුවක් වී ඇති මෙරට විදුලි කප්පාදුව අදත් සිදුවනවා. ඒ අනුව තාප බලාගාර සඳහා ඉන්ධන නොමැතිවිම හේතුවෙන් අද දිනයේද පැය 07යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා කාලය තුළ ඛාණ්ඩ කිහිපයක් යටතේ පැය 05ක විදුලි කප්පාදුවක් සිදු කෙරුණු ඇති. ඉතිරි පැය 02යි මිනිත්තු 30ක කාලය විදුලිය කප්පාදු කෙරෙන්නේ පස්වරු 06ත් රාත්‍රී 11ත් අතර කාලය තුළ බවයි ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.
කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. අධි ආරක්‍ෂිත කලාප, රෝහල් සහ ජල සැපයුම් ස්ථාන සහ නිදහස් වෙළද කලාප ආශ්‍රිතව එලෙස විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි නෙත් නිවුස් වෙත පැවසුවා.
(Neth)